මුල් පිටුව

කෙටිකතා

කවි සහ ගීත

වෙනත් ලිපි

Thursday, December 18, 2014

අහිමි සොඳුුරියේ...

මේක සමහරවිට ඔයාගෙත් කතාව වෙන්න පුළුවන්...
ප්‍රේම කතාවල මොනම විදියකින්වත් ප්‍රේමයට බලපාන අතුරු කතා තියෙන්න බෑ කියලයි මං විශ්වාස කරන්නෙ. අතුරු කතා තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රේමයට අහිතකර ලෙස බලපාන්න බෑ. ඒක තමයි මගේ තියරි එක. ඒකට කියන්නෙ “ලව් ෆස්ට්“ තියරි එක. වෙන මොන කතන්දර ආවත් ලව් එක තමයි මුල් තැන.
හැබැයි ඔය තියරි එක හැමෝටම අනුගමනය කරන්න බෑ. ඒකට හේතුව පෙරදිග සංස්කෘතිය ඇතුලෙ අපි සමාජ, සංස්කෘතිකමය හා සදාචාරාත්මක බැඳීම්, වගකිම් සහ යුතුකම් වලින් හිරවෙලා. විවිධාකාරයේ විශ්වාසයන් මත පදනම් වෙච්ච සදාතනික පරම්පරා ඝට්ටනයක් තියනව එදත් අදත් හෙටත්. ඒ නිසා බොහෝ දෙනෙක් ඉන්නවා මේ සමාජය ඇතුලේ “ලව් ෆස්ට්“ බල්ලට දාල “පේරන්ට්ස් ෆස්ට්“ කරපු. මේ තියරි දෙකම එළිපත්තෙ ඉන්න බළල්ලු වගේ තමයි. අනාගතේ කොයි පැත්තට වැටෙයිද කියන්න හරියට දන්නෙ නෑ.
මේ සිංදුවේ සම්පූර්ණ කතාව තියෙන්නෙ එකම එක පදයක් උඩ
“දෙගුරුන් පුදකල අහසේ තරුකැළ“
මේක මේ සමාජයේ බහුතරයකගෙ කතාවක්. සමහරවිට ඔයාගෙ කතාව මං කලින් කිව්ව වගේම. හැබැයි වාසනාවකට මගෙ කතාව නෙවෙයි. මගෙ කතාව ඔය පදය නිසාම මේ කියන කතාවෙ විලෝමය බවට පත්වුනා.
ටිකක් බර වැඩිද මන්ද කියපුව..
එහෙම කිව්වෙ වවුලගෙ ගෙදර ගියොත් එල්ලිල ඉන්න ඕන හන්ද..
මේක ජනප්‍රිය රැල්ලෙ ගීතයක් නෙවෙයි..
මේ ළගදි මගේ අතිජාත මිත්‍රයා Kosala Chaturanga ළගදි මෙන්න මේ කතාව මට මතක් කලා
"When you're happy , you enjoy the music . But when you're sad , you understand the lyrics " ~ Frank Ocean
මේකත් ඒ ජාතියෙ එකක් කියලයි මගෙ හැගිම.
යන්න කලින් තව අතුරු කතාවක් කියලම යන්නම්. මේක ලියන්න හේතු භූත උනේ ඔය පොදු අත්දැකීමම නෙවෙයි. උගේ දුක මගෙත් දුක වෙන ජාතියේ තවත් අතිජාත මිත්‍රයෙක් නිසා..
පේ‍්‍රම කතාවේ අතුරු කතාවක
නුඹත් මමත් අවතැන් වූ දවසක
දෙමංසලක ගිය අපි අද දෙතැනක
මතකය පාරයි කකියන හදවත
අහිමි සොඳුුරියේ...
දෙගුරුන් සනසන මාසිත බිඳලන
අහිමි සොඳුරියේ//
තරුකැට පැරදුව නිල්මිණි දෙනුවන
කැල්මන් බැල්මන් සිතිවිලි මත්කල
මා අත්හළ ඇල්මන් ඔහු සතුකල
දෙගුරුන් පුදකල අහසේ තරුකැළ
සිනහව සිනහව නුඹෙ වත සැරසුව
සිතිවිලි අවදිව හදවත සැනසුව
ඒ සිනහව අද මුවෙහි දරාගෙන
පිටමං වන සැටි නුඹ මට අහිමිව
පේ‍්‍රම කතාවේ අතුරු කතාවක...
-විදුරංග විලෝචන ගුණසේකර-

Wednesday, October 22, 2014

ඇසිපිය යට රැඳි

කාලෙක ඉදන් යුග ගිත කියන නිසා යුග ගීතයක් ලියන්න ඕන කියල අදහසක් ඔළුවෙ තිබුනා.

සිංදුව ගැන කියනවනම් දැකපු දවසෙ ඉදන් හිතේ කිතිකැවිච්ච ආදරයක් ගැන කියවෙන්නේ.
එහෙම ඒව වෙනව මේ ලෝකෙ. දැකපු දවසෙ ඉදන් දෙන්නගෙම හිත යට තියන ආදරේ අවසානෙ මුළු ජීවිතේම වෙනවා.
මං කිව්වෙ ආදරේ ගැන ආකර්ශණේ නෙවී.
ආදරේ විදන අය විදපු අය වගේම විදවන අයත් මේ පද පේලිය විදී කියල හිතනව.
අදහස් කියන්න. ඒක ලොකු ශක්තියක්.

ගැ- නුඹෙ රූ - මා ළමැදේ සතපලා
සිත සිතිවිලි පෙම උතුරා - මං හීනයක් මැව්වා
පි- ඇස් හමුවී මුව ගොලුවී - මා හීනයක සැරිසරා
සිත සිතිවිලි පෙම කළඹා - මං නුඹෙ නමට පෙම්කලා
දෙ- ආදරේ...සත් සාගරේ...
ජීවිතේ... මල් මාවතේ..
ගැ- සඳක සිසිලද හිරුගෙ උණුසුම නුඹයි මට ලංකලේ
හිතම පොබකල මිහිර විදිනා මමයි සොඳුරී නුඹේ
පි- මලක මෙලෙකට මහද සමකල රුසිරු සුරඟන මගේ
මටම නුඹ පිදු අරුම සෙනෙහස රකිමි මගෙ පණ වගේ
දෙ- ආදරේ...සත් සාගරේ...
ජීවිතේ... මල් මාවතේ..
ගැ- සුරත ගෙන මා ළයට තුරුලුව පැතු පැතුම් ජීවිතේ
සසර කතරට මැවුණු කෙම්බිම නුඹයි මගෙ ආදරේ
පි- පිපුණු මලකට සුවඳ පොද වී ලෝකයම හැඩකලේ
සුරත ගෙන නුඹෙ ලයට තුරුලුව පතමි නුඹ හැම භවේ
ඇසිපිය යට රැදි.....
-විදුරංග විලෝචන ගුණසේකර-
2014/10/21
ප.ලි.
මේ කතාව ලියන්න හිටියට අමතක උනා Indunil Rathnayakeගෙ පෝස්ට් එක දැක්කම මතක් උනේ ලිව්වෙ නෑනෙ කියල. ගායිකාව පටන්ගන්න ආදරේ සම්බන්ධ යුග ගීත තියනව. ඒත් ඒක සම්ප්‍රදායික නෑනෙ."Ladies First" කියල කට වචනෙට කිව්වට මේක පුරුෂ මූලික සමාජයක්නෙ. ඒක ආදරේදිත් එහෙමයි. ගොඩ දෙනා හිතන් ඉන්නෙ කොල්ල ඉස්සෙල්ල අහන්න ඕන. කෙල්ල ඇහුවොත් හරි නෑ කියල. හැබැයි සමහරවිට කෙල්ලට ආදරේ හිතෙන්නෙ කොල්ලට කලින්. ඒත් සද්ද නැතුව ඉන්නව. ඒ හන්ද මං හිතුව එහෙම සද්ද නැතුව ඉන්න කෙල්ලන්ට පොඩි අවස්ථාවක් දෙන්න ඕන කියල. ඒ නිසයි ගෑණු ළමයට මුලින් චාන්ස් එක දෙන්න හිතුවෙ.


Tuesday, September 30, 2014

වසන්තේ මල් සුවද හමනා දසන්තේ

ජීවිතේට සමීපතම අනික් වචනෙ තමයි ආදරේ. උපන්දා ඉදන් මැරෙනකල්ම අපි ආදරේ හොයනවා. ඒ විවිධ ආදරයන් අතරේ මැරෙනකල්ම ජීවිතේ බෙදාගන්න අපිට ආදරේ කරන අපි ආදරේ කරන කෙනෙක්ව අපි හොයනව. අපේ හිතේ ඇදිච්ච කෙනෙක්ව අපි හොයනව.ඒ කෙනා අපි අතරෙම ඉන්නව. අපි යන එන තැන්වලදි අපිට මුණ ගැහෙනව. ඒත් කොහොමද අදුරගන්නෙ. අපි හොයන ආදරේමද මේ? ඒ ආදරේ ලෝකෙ පෙරළගෙන මුහුද දෙබෑ කරගෙන හරි අපේ ළගට එනවනම් අපි කැමතියි නේද? මේ මට හිතුනු හැටි....
වසන්තේ මල් සුවද හමනා දසන්තේ
සොයන්නේ හිත ඇදුනු රුව කොහි වසන්නේ
හමන්නේ මුදු සුළග නුඹ සිප ඇදෙන්නේ
හැගෙන්නේ නුඹ ළග ළගම බව දැනෙන්නේ

නුහුරු ලෙස හදවතක  දැවටුන - සොදුරු  විකසිත හීන අහුලන
සිතේ සැරිසැරු රැසිරු දෙව්ලිය  - මගේ ලොව සත් පාට විසිරුණ
මැවූ සිත්තම සිතම මත් කල විලාසේ
හදේ ගෙත්තම් නුඹයි දිවි මං තලාවේ

වසන්තේ මල් සුවද හමනා දසන්තේ...

ජීවිතේ විල් දියට නෙළුමක් - සොයා ඉගිලෙන කෝල පැතුමක්
සරන මා හද කරන සක්මන් - නාදුනන හිත් කලත් ඉක්මන්
ආදරේ හිත් හදුනනා හැටි නොදන්නේ
සාගරේ සත් කළඹලා හෝ වඩින්නේ

වසන්තේ මල් සුවද හමනා දසන්තේ...



~විදුරංග ගුණසේකර~


අපි අපිට මෙතරම්

මේක ගැන මං පූර්විකාවක් දෙන්න උත්සහ කරන්නෙ නෑ. මේක සම්ප්‍රදායික කතාවක්. හැබැයි එදත්, අදත්, හෙටත් පොදු කතාවක්...
අපි අපිට මෙතරම්
කළත් පෙම් කෙතරම්
ලොවට එය නොතරම් නම්
වෙන් වෙමුද දුක
හද පතුලෙ දරන්
නුඹව ගන්නට රන්කාසි නැති හන්දා
නුඹේ නෑසියො වැට කඩුළු මට බැන්දා
නුඹට පුදදුන් මහමෙරක් පෙම හන්දා
ලොවට රහසින් හදවතින් ඉකි බින්දා
අපි අපිට මෙතරම්......
අහසෙ කළුවර අමාවක සඳ හන්දා
රහසෙ අහසට එන්න බැරිවද මන්දා
නුඹේ මුනිවත මට නොතේරෙන හන්දා
මගේ තනිකම ජිවිතේටම වින්දා
අපි අපිට මෙතරම්......


-විදුරංග ගුණසේකර-

ආදරයේ හීනෙ පාට ගෑවේ නුඹයි මියුලැසී

“එයා යන්න ගියා“
මේ ඉරහද යට මුණ ගැහෙන අපි ඔය කතාව කී පාරක්නම් අහල ඇද්ද?
ඒත් ඇයි එයා ගියෙ? කොහෙටද ගියෙ? ඇයි එයාව නවත්තගන්න බැරි වුනේ?
ජීවිත කාලෙම හිතුවත්, ඕකට හරි උත්තරයක් හොයාගන්න අපිට පුළුවන් උනාද?
මං හිතන්නෙ, ගිය කෙනාවත් ඕකට හරිම උත්තරේ දන්නෙ නෑ. යන්න ගිය ගමන මොකද්ද කියල අපිට වෙනස් වෙනස් අර්ථකතනයන් ගොඩක් දෙන්න පුළුවන්.
ඒත් වැඩක් වෙයිද? එයා ගිහින් ඉවරයි. ඒත් මම...
එදිරිවිර සරච්චන්ද්‍ර මහත්තය මෙහෙම කිව්ව
“නොගොස් එන්න බැරිය....
නෑවිදින් යන්න බැරිය........
ලොව ඇත්තේ යාම් සහ ඒම් ය... “
මට මෙහෙම හිතුන..මං ඒ හිතිවිලි අකුරු කලා..
ආදරයේ හීනෙ පාට ගෑවේ නුඹයි මියුලැසී
රළු කතරේ මා තනි කල මිරිඟුව නුඹම වූ හැටී
සාගරයේ රළ වාගෙ නැගෙනා පෙමින් උමතු වී
ආකාසේ හැදු මාලිගාවන් බිඳී විසිරුණී
රෑ අහසේ තරු දිලුනා පෙනුනා අඳුරු රැයකදී
ඒ අහසේ එක තරුවක් දිලුනා හදට එලිය දී
ඒ එළියේ මං සෙව්වේ යන්නට මං මුලා නොවී
මගෙ අහසේ අද අඳුරම විතරයි තරු කඩා වැටී
ආදරයේ හීනෙ පාට ගෑවේ නුඹයි මියුලැසී...
මල් වැස්සේ හිත් පොබකල හැඟුමන් පිරුණු අතීතේ
හිත් අස්සේ හංගාගෙන අද අපි දෙතැනක ඉන්නේ
මුදු පහසේ රුදු සුවදක් ඇවිදින් හද රිද්දන්නේ
නුඹ රහසේවත් අහසට නොඑනා වග සිහිවෙන්නේ
ආදරයේ හීනෙ පාට ගෑවේ නුඹයි මියුලැසී...
-විදුරංග විලෝචන ගුණසේකර-

මගේ නොවන විරහවක විලාපය

ජීවිතේ සමහර කතාවලට පෙරවදනක්වත් පසුවදනක්වත් දෙන්න බැරි තැන් තියනව. එහෙම වෙලාවට පුරවගන්න ඕන උනත් පුරවගන්න බැරි හිස්තැන් හිටිනව. ඒ නිසා මේකට පෙරවදනක් දෙන එක තේරුමක් නැති වැඩක්. හැබැයි මේක කියෝපු ගමන් ඔයාල හොට පටලගන්න බව දන්න නිසා මේ ටික කියන්නම්. මේක මං කාපු “බූට්“ එකක් ගැන කතාවක් නෙමේ. මොකද මං කවදාවත් බූට් කාල නෑ. බුට් වලට වඩා මිනිස්සුන්ට රිද්දන , ඒ රිද්දිල්ලෙන් හිමදාම විදවන සමහර සිද්ධි නැගෙනහිරෙන් ඉර පායල බටහිරෙන් බැහැල යන ලෝකෙ ඇතුලෙ ඕන තරම් තියනව. මේක ඒ වගේ එකක්.
හිතට හිතින් හිනා වෙච්ච
නෙත් කොණකින් ඉගි මැරිච්ච
සිනා කිකිණි වත රැදිච්ච
කාලය දැන් ඇල් මැරිච්ච
උඹේ හිතේ රහස් කියපු
මගේ හිතේ රහස් අහපු
හිතින් හිතට හිනා පුරපු
හිතිවිලි කෝ අපි වපුරපු
ප්‍රේමෙ නිසා මුන ගැහිච්ච
ප්‍රේම නොකර හිනාවෙච්ච
ප්‍රේ‍මෙ හින්ද ඈත් වෙච්ච
වේලිල නෑ ඇස් තෙමිච්ච
ජීවිතයේ පිටු අතරට
එකතු කරපු ගින්දරකට
පිච්චිල ගිය මගේ හිතට
නුඹ එයි තාමත් ඉදහිට
තාමත් සිහිවුන දාකට
හිනා නැගෙන විට මුවගට
සුසුමක් පිටකර අහසට
හිනා වෙන්නේ මමමයි මට
සමරු පොතේ පිටු අතරට
එකතු කරපු නුඹෙ මුතුකැට
අකුරු තියෙයි එක පෙලකට
සිිසිල දෙයිද කිණිහිරකට...
-විදුරංග විලෝචන ගුණසේකර-


රෑ තරුපානේ කෝ නුඹ අහසේ

මං අහල තියන ලස්සන ආදරණීය කතාවක් මට මතක විදියට කියන්නම්...
මේ ලෝකෙට මිනිහව මැව්වෙ එක පලුවක් ස්ත්‍රී විදියටත් අනෙක් පලුව පුරුෂ වෙන විදියටත්ලු.
ඉතින් පස්සෙ මොකද්දෝ හේතුවක් නිසා මේ පලු දෙක වෙන් කරන්න කියන්න දෙවියන් වහන්සෙගෙන් ඉල්ලා හිටියලු.
ඔන්න එහෙම වෙන් වෙලා ටික කාලයක් යනකොට 
දෙන්නට දෙන්න නැති අඩුව දැනෙන් ගත්තලු.
එදා ඉදන් අද වෙනකල් මේ සමාජෙ එකිනෙකා අර තමන්ගෙන් මග හැරුණ විරුද්ධ ලිංගික පලුව හොයනවලු.
තමන්ගෙ අනික් පලුව හොයන අයත් සමහරවිට නොදන්නව උනාට හැමෝගෙම හිත පතුලෙ තියනව මං හොයන්නෙ මේන් මේ විදියෙ කෙනෙක් කියල.
අවාසනාවට හැමෝටම එහෙම හම්බ වෙන්නෙ නෑ.
සමහරු මේ ඉන්නෙ මගෙ අනික් පලුව නෙවෙයි කියල තේරුම් ගන්නකොට ගොඩක් දුර ඇවිත්... ආපහු යන්න බැරි තරමටම..ඒ නිසා ආපු තැනම නැවතිලා ඉන්නවා.
තවත් සමහරු නොකඩවා තමන්ගෙ අනික් පලුව හොයනව හැමතැනකම..
සමහරු මේකට අනියම් ප්‍රේමය කියලත් කියනව...
කවුරු පිලිගන්න කැමති උනත් අකමැති උනත් මේ අනියම් ප්‍රේමය කියල අර්ථ දැක්වෙන්නෙ, නියම ප්‍රේමය, නැත්තං අනික් පලුව සොයා යන අනවරත ගමන.
ඔය කතාව මං මෙහෙම පද පෙලකට ගෙතුව
සැ.යු. මේක දැකල වගකිව යුත්තො කලබල වෙන්නනම් එපා! මොකද මේක පෞද්ගලික අත්දැකීමක්නම් නෙවෙයි.
රෑ තරුපානේ - කෝ නුඹ අහසේ
මං සෙව්වා - තරුකැට ගානේ
නෑ හඳ පානේ - නෑ ඉරපානේ
මා පැතු නුඹ නෑ - ඒ අහසේ
කෝ මා දුටුව හීනේ - බොඳවී දෑස මානේ
කොහිදෝ සැඟවිලා ආකහේ
සුවඳ දිගේ රෑ තුන්යම හමනා
හිතට දැනුනු මුදු මල් පුසුඹේ
පියවි ලොවේ සුව සෙවන සොයා හිත
හිතට හොරෙන් කොයිබද ඇදුනේ
කෝ මා දුටුව හීනේ බොඳවී දෑස මානේ
කොහිදෝ සැඟවිලා ආකහේ
රුවට නොවේ ඒ මල්මත දිලෙනා
සුවඳ පොදට මම පෙම් බැන්දේ
සුවඳ මැකී රුව රනට දිලුනමුත්
හිතට තරම්වෙද රත්තරනේ
කෝ මා දුටුව හීනේ බොඳවී දෑස මානේ
කොහිදෝ සැඟවිලා ආකහේ
රෑ තරුපානේ - කෝ නුඹ අහසේ...
-විදුරංග විලෝචන ගුණසේකර-

නාඳුනන ආදරේ

රෑ දොළහට විතර චැට් එකට ගෑණු ළමයෙක් ආවා...
සිංදුවකට පද පේළියක් අමුණන්න වස්තු බීජයක් හොය හොය ඉන්න වෙලාවක..
එයා මට කවි පේලි කීපයක් එව්වා..
එයාගෙ යාළුවෙක් එයාට එවපුවලු..
කවි ලියපු කෙනා අතථ්‍ය(virtual) යාලුවෙක්ලු
කොටින් කීවොත් ෆේස්බුක් එකෙන් විතරක් දැකපු යාළුවෙක්
ආදරෙත් හරියට ඩෙංගු වගේ. කාලෙන් කාලෙට පැතිරෙන්න විවිධ මාධ්‍ය හොයාගන්නවා. කාලයක් ලියුම්, ඊට පස්සෙ ටෙලිෆෝන්, ඊ්ට පස්සෙ එස් එම් එස්, දැන් ෆේස් බුක්. කොල්ලෙක් කෙල්ලෙක්ට මග රැකල ඉදල ලියුං දෙනකොටත්, ගෙදර අයට හොරෙන් ලැන්ඩ් ෆෝන් එකට කෝල් කරනකොටත්, කොහෙන් හරි නම්බර් එක හොයන් SMS කරනකොටත් ඒවගේම චැට් එකට මැසේජ් එකක් එවනකොටත් කෙල්ලෙක්ගෙ හිත චංචල වෙනවා...
නාදුනන ආදරයක්....
හැබැයි ඒක මිහිරි සිතිවිලි ආකරයක්.....
ඉතින් ඒ නිසා මං මෙහෙම ලිව්වා...
නාඳුනන ආදරේ
නුඹ ලියූ පද වැලේ
අකුරු අතරේ රැඳී
හිතට එබිකම් කලේ
හීන ගඟුලේ - මසිත කිමිදී
හීන අතරින් - නුඹව සොයමී
නාදුනන ආදරේ
හිතට එබිකම් කලේ
නුඹගෙ පදරුත් මවන හැඟුමන්
මහද සිතුවම් කරයි මනරම්
ජීවිතේ මීවිතේ රසය දෝ මට දැනුනේ
ජීවිතේ මාවතේ මුලා වේ දෝ නොදැනේ
නාඳුනන ආදරේ..
මලක මෙලෙකත් හමන සුවඳත්
දැනෙන බමරුන් රොනට ඇදුනත්
ආදරේ රොන් කෙරේ පමණදෝ මට සිතුනේ
මාහදේ ආදරේ කාටදෝ නෑ දන්නේ
නාඳුනන ආදරේ..

-විදුරංග විලෝචන ගුණසේකර-

හුදකලා සිත

වැස්ස හරිම පුදුමාකාරයි.....
හීන් හීගඩු පිපෙන හිරිපොද පිහගෙන එන හිතල හුළගට
හිරිවැටිල යන්නෙ ගත විතරක් නෙවෙයි සිතත්...
ඒ හීතලේ තියෙන්නෙ මහ පුදුමාකාර පාළුවක්...
අදුරු කුටියක ගුලිවෙල ඉන්න හිතේ හිතිවිලි
ඒ හිරිවැටෙන හිතලෙන් අවදි වෙනව...
ගුරුපාර දිගේ එන ලස්සන හිනාවක් ඇදුනු මූණක්...
ඒත් එක්ක එක දම්වැලක බැදෙන පුරුක් වගේ මතකයන් පෙළක්...
ඒක මේ යකඩ දම්වැලක් නෙවෙයි...
පුංචි එවුන් වෙසක් එකට පාට පාට සව් කරදහිවලින් හදන ලස්සන දම්වැලක්...
ලස්සනයි හැබැයි හයිය නෑ...
ආකාසේ නිලංකාර කරගෙන මහ සද්දෙකුත් එක්ක අකුණක් කෙටුවා...
දම්වැල් පුරුක් බිදිල විසිරිලා සීසීකඩ......
විසිරිච්ච මතකය එකට එක්කාසු කලේ පන්හිද
මෙන්න මෙහෙම

හුදකලා සිත මත්කලා නුඹෙ දෑසෙ කැල්මන් ආදරෙන්
ඉරිතලා ගිය හද බිමට වට වැසි පොදක් සේ ආකහෙන්
මංමුලා කල සිත සොරාගෙන කොහිද ඇදුනේ සීරුවෙන්
මග බලා ඉමි මග බලා මම යලිත් එනතුරු ආදරෙන්

දෑසෙ පැටලුණු රුවට යාකල කෝල හැගුමන් ආදරේ
මදහසක් වුව මහමෙරක් ලෙස සිතට දැනුනා ජීවිතේ
යායෙ විසිරුණු පාට මල් පෙති අපට පෑ රස සාගරේ
සිතුවමක් ලෙස බොඳ වෙලා අද පාට විසිරේ මාහදේ

හුදකලා සිත....
එදා සෙනෙහස ගලාගිය පටු පාළු මංමාවත් දිගේ
ඇවිද යමි මම හිස් අහස් කුස සරන තනි ලිහිණියකු සේ
සදා සිසිලස පතා මිහිකත සඳට කෙරුවත් ආදරේ
අමාවක දින උදාවන තරු සිනාවෙන් ඔච්චම් කලේ

හුදකලා සිත....


-විදුරංග විලෝචන ගුණසේකර-

Thursday, July 17, 2014

ආදරේ හීන මල්

ආදරේ දැන් සිල්ලර භාණ්ඩයක් වෙලා පේමන්ට් එකෙත් විකුනන ගානට වැටිල කියල සමහරු කියනවා. දම්මි සුගත්ට දිපු වෙරළුවලයි, පියල් නන්දට දිපු ලියුම්වලයි, කුසුමෙගෙයි ලොක්කයියගෙයි හිත්වලයි තිබ්බ ආදරේ රහ දැන් නෑලු. අනේ මන්ද අප්ප, එයාලගෙ ආදරේ රහ උනත් ඒ ඔක්කොම බූට් කාපු කට්ටියනෙ. හැබැයි දැන් SMS වලට, FACEBOOKවලට පිං සිද්ද වෙන්න එදා වගේ නෙමේ, ආදරේ හුවමාරු වෙනව සට සට ගාලා, වැඩිහිටියන්ගෙ ඇස්වලට වැලි ගහල.  ඕක තමයි අද ආදරේ ලාබෙට පේමන්ට් එකෙත් විකිණෙනව කියන්නෙ. ඒ කාලෙ ලියුං කියවන්න නිල හෝ නිල නොවන පියුං එනකං ඇගිලි ගැනපු අය ඉරිසියාවට ඕව කියනවද මන්ද. මොකද නවීන තාක්ෂණෙන් උනත් රහට ආදරේ කරන්න පුළුවං, රහ කොරන්න සහ විදින්න දන්න අයට. ඔය කොච්චර තාක්ෂණේ තිබ්බත් මෙලෝ Network එකකට සිග්නල් නැති පැති තාමත් ලංකාවෙ තියනවනෙ. එහෙම පැත්තකට හීන කුමාරි දවස් දෙක තුනකට ගියාම පට්ට පාළුවක් දැනෙන්නෙ. එහෙම කට්ට කාපු වැහි මන්දාරමකුත් තිබ්ච්ච මැදියම් රැක මං ගියා, මුළු කොළඹින් බාගයක් විතර පේන සදළුතලේකට..
ගාල්ලෙ ඩොටේටත් පේන හඳම තමා මටත් පෙනුනේ,
පට්ට යන පාළුවයි, හීගඩු පිපෙන හීතලයි මැද්දෙ හිතිවිලිනම් දෝරෙ ගැලුවා.........

හීන මල් විකසිත වෙලා
ඒ හීනයේ නුඹ දැවටිලා
සිහිනයෙන් මා සොයා
ආදරෙන් මත්කලා
මාගෙ ලොව සරසනා
සුරඟනයි ඔබ සදා

සිත පාළුවේ සැතපෙන රැයේ
හද මායිමේ රැදි මිහිරියේ
දුර ජීවිතේ සොයනා මගේ
සඳ රාජිනී හද ආදරි
නුඹ රූසිරී මා සිත පිරී
දෙන වේදනා සුමිහිරී

ආදරේ සත් සාගරේ‍
රළ බිඳේ හද මන්දිරේ
තරු දිලේ රෑ නිම්තෙරේ
එක පුන්සඳයි හද අම්බරේ
නුඹ ඒ සඳයි මා හදේ
සඳ සාවියයි නුඹ මගේ

-විදුරංග ගුණසේකර-

Wednesday, July 16, 2014

අපේ කතාවල කූඹි සහ පරවි කිරිල්ලියෝ

පුංචිම කාලයේ පටන්ම මම කතන්දර අැසිමේ රුසියෙක්මි. අම්මා බත් කවන විට කතන්දරයක් අනිවාර්යෙන් කිව යුතුමය. එමෙන්ම ඒ කතන්දරය කලින් නොකී එකක්ද විය යුතුය. ඒ පුරුද්ද නිසා අදටද මං අම්මාට කියා බත් කවා ගැනීමට කැමතිය. ඇයද අදටද මොකක් හෝ් කතාවක් කියවූ විට මුල සිට අගටම ඒ කතාව මට කියා දෙන්නීය.

අම්මා ගැන කියනවානම් එය සරල සංක්ෂිප්ත නොවන වෙනම කතාවකි.ඒ නිසාමේ කතාව අම්මා ගැන නොව අම්මා මේ මෑතදී මට කියූ කතාවක් ගැනය. පොඩි කාලේ කතා අසා රස වින්දත් දැන් රස වින්දනයට අමතරව ඒ ගැන ස්වයං විවරණයක් යෙදෙන්නට මම හුරුව සිටිමි. මේ කතාව සුරංගනා කතාවක් වුවත් අපේ සමාජ යථාර්ථය නිරූපණය කරවන කතා බව මට හැගින.

පළමු වැන්න පරවි කිරිල්ලියගේ කතාවයි. දිනක් පරවි කිරිල්ලියගේ බිත්තරයක් ගම මහගේ සොරකම් කලාය. පරවි කිරිල්ලිය බිත්තරය ඉල්ලුවද ගම මහගේ එය නිර්දය ලෙස ප්‍රතික්ෂේප කලාය. ඇයට පාඩමක් ඉගැන්විමට සිතූ පරවි කිරිල්ලිය ඌරෙකු හමුවී ඇයට සිදුවූ අසාධාරණය කියා ගම උන්දෑගේ අල වගාව පාලු කරන ලෙස ඉල්ලා සිටියාය. එහෙත් ඌරා ඇයව ප්‍රතික්ෂේප කලාය. කෝපයට පත් පරවි කිරිල්ලිය දුනුවායෙක් හමුවී සියලු විස්තර කියා ඌරාට විදින ලෙස ඉල්ලා සිටියාය. දුනුවායාද ඇය ප්‍රතික්ෂේප කලේය. එනිසා ඇය මීයෙකු හමුවී දුනුවායාගේ දුන්නේ වරපට කපන ලෙස ඉල්ලා සිටියාය. මියාද ඇයව ප්‍රතික්ෂේප කලාය. මෙනිසා මීයා අල්ලන්නැයි ඇය බළලාගෙන් ඉල්ලුවාය. බළලාද ඇය ප්‍රතික්ෂේප කලාය. මෙනිසා බළලාව සපා දමන්නැයි ඇය බල්ලාගෙන් ඉල්ලා සිටියාය. බල්ලාද ඇය ප්‍රතික්ෂේප කළේය. මෙනිසා බල්ලාට ගලකින් පහර දෙන්නැයි ඇය මහලු මිනිසෙකුගෙන් ඉල්ලා සිටියාය. මහලු මිනිසාගෙන්ද ඇය ප්‍රතික්ෂේප විය. එවර පරවි කිරිල්ලිය ගින්දර හමුවූවාය. මහලු මිනිසාගේ රැවුල ගිනිතියන්නැයි ඇය ගින්දරෙන් ඉල්ලුවාය. එවරද සුපුරුදු පිළිතුර ඇයට ලැබිණ. එවර ඇය ගංගාව වෙත ගොස් ගින්දර නිවා දමන්නැයි ඉල්ලා සිටියාය. ගංගාවෙන්ද ඈ ප්‍රතික්ෂේප වූවාය. එවර ඈ ගියේ අලියා හමුවන්නටයි. ගගේ ජලය බොර කරන ලෙස ඈ අලියාගෙන් ඉල්ලුවාය. අලියාද ඇයව එලවා ගත්තේය. එවර ඈ ගියේ කූභියා වෙතටයි. අලියාගේ නාසයට රිංගන ලෙස ඈ කූඹියාගෙන් ඉල්ලා සිටියාය. පරවි කිරිල්ලියගේ කතාව ඇසූ කූඹියා ගොස් අලියාගේ නාසයට රිංගුවේය. කුලප්පු වූ අලියා දිවගොස් ගගට පැන්නේය. ජලය බොරවිය. ගංගාව ගින්දර නිවන්නට පැමිණෙනු දුටු ගින්දර මහල්ලාගේ රැවුල ගිනි තිබ්බේය. මහල්ලා බල්ලාට පහරදුන්නේය. බල්ලා ගොස් බළලාව සපා කෑවේය. තමා අල්ලන්නට එන බළලා දුටු මියා දිවගොස් දුනුවායාගේ දුන්නේ වරපට කැපුවේය. අලුත් වරපටක් බැදගත් දුනුවායා ඌරාට විදින්නට සැරසෙද්දී ඌරා ගම මහගේගේ අලවගාව පාලු කලේය. ගම මහගේ පරවි කිරිල්ලියට බිත්තරය ආපසු දුන්නාය.

අප සමාජයේද පරවි කිරිල්ලියෝ ඕනෑ තරම් සිටිති. තමාට ලැබිය යුතු නමුත් අනෙකුන් විසින් කොල්ල කාගත් දේ වෙනුවෙන් සටන් කරති. සමහර පරවි කිරිල්ලියෝ අතරමග හෙම්බත්ව උත්සහය අතහරිති. සමහර පරවි කිරිල්ලියෝ නැතිවූ බිත්තරය ගැන නොසිතා ඉතිරි බිත්තර රැක ගනිති. නමුත් නොනැවතී යන පරවි කිරිල්ලියෝ පොදු ජන සමාජයේ දුබලයන් අතරින්ම කූඹි වීරයෙක් සොයාගනිති. බල පුළුවන්කාර සමාජ පීඩකයන්ට රිදෙන්නේ දුබල වුවත් මේ කූඹි වීරයාගේ අතිශය සරල ක්‍රියාවකිනි. සරල ක්‍රියාවෙන් බලවත් රිදිල්ලක් හටගන්නා අලියා සහ අනෙක් පිරිස තම පැවැත්ම වෙනුවෙන් තමාට කලින් කලහැකිව තිබූ දේ ඉටුකරයි. නමුත් එය තම පැවැත්ම උදෙසා මිස සමාජ සාධාරණය ඉටුකිරිම උදෙසා නොවන බව අප මතක තබාගත යුතුය. එබැවින් ඔබ පීඩිතයෙක්නම් පළමු කරුණ උත්සාහය අත්නොහල යුතුය. දෙවන කරුණ ඔබ වැනිම පීඩිතයන් තුල සිටින කූඹියා සොයාගත යුතුය. පීඩනයෙන් මිදීමේ සරල ක්‍රියාව ඇත්තේ ඔබ වැනිම පිඩිතයන් තුලය.

මෙය කියවූ ඔබට තව දෙයක් සදහන් කල යුතුය. මෙය කියවූ පසු හැමදේම දේශපාලනය යයි විශ්වාස කරන සමාජයක සිටින ඔබ, මා අසවල් පක්ෂයට අයිති එකෙකැයි යම් කිසි දේශපාලන පක්ෂයකට, ඔබේ මනසින් දමනු ඇත. නමුත් සත්‍ය වශයෙන්ම මම එවන් පටු රාමුවලට කොටු නොවූ, අසීමාන්තිකව සිතීමේ නිදහස පාවිච්චි කරන පුද්ගලයෙකු බව සදහන් කරනු කැමැත්තෙමි. සමාජයේ බොහෝ දෙනා මේ දේශපාලන රාමුවලට කොටු වී චින්තනය මොට කරගෙන සිටිති. ඔවුන් දකින්නේ ගම මහගේ සහ පරවි කිරිල්ලිය පමණි. ඒ අතරමැද සිටින පිරිස ඔවුන් කිසිවිටක නොදකිති. සමාජ ප්‍රශ්න හමුවේ දේශපාලනයට දේශපාලුවන්ට අවලාද නගති. නමුත් දේශපාලනය යනු ප්‍රශ්නයේ එක් අතකොලුවක් පමණි. ප්‍රශ්නය ඇත්තේ තම යහපැවැත්ම වෙනුවෙන්, කරබාගෙන සිටින අපේම මිනිසුන් තුලය. හැබැයි අනුන් ගැන සිතන “හීන් සැරය“ දන්නා කූඹියෝද අපේම මිනිසුන් තුල සිටිති. එනිසා කූඹියා සොයාගත යුතුය.

අපේ අම්මා මට තවත් කතාවක් කියා දුන්නාය. හැබැයි ඉතිරිය ඉදිරියට....

-විදුරංග ගුණසේකර-

Wednesday, June 11, 2014

ආදරේ හැමවිටම කසාදයෙන් කෙළවර වෙන්නෙ නෑනෙ.
මේක කසාදෙ නිසා විඳවන ආදරවන්තයන්ට.....

හිතත් එක්ක හිතට හොරෙන් සිනාසී හිඳින්න
නුඹත් එක්ක ආ ගිය තැන් මතකයේ තියන්න
දෙනෙත් අගට කදුලු තියා ආදරේ බිඳින්න
නුඹෙත් හිතට දුකයි නේද මගේ හිත බිඳින්න

වෙරළ කොණක තුරුල් වෙලා රළ ගැනපු අතීතේ
දෙතොල අගට හාදු තියා හීනමයි මැවූයේ
හැපෙන බිඳෙන රළ වාගෙම විසිරිලා ගියානේ
නැගෙන නැගෙන හැම කඳුලෙම නුඹෙ නමයි තියෙන්නේ

 හිතත් එක්ක හිතට හොරෙන් සිනාසී හිඳින්න...

අත අල්ලා නෙත් පටලා පියමං කල මානේ
හිත ඉල්ලා නෙත් තෙමිලා නුඹ මා ළග නැහැනේ
වත රතු කර හිත බොරු කර පිට ගං යන නෑනේ
අත දුන්නට වෙනකෙකු වෙත හිත මා ලඟ නෑනේ

 හිතත් එක්ක හිතට හොරෙන් සිනාසී හිඳින්න...

 -විදුරංග ගුණසේකර-

Thursday, June 5, 2014

පාට සරුංගල්

(මේ කතාව ටිකක් හෙමින් කියවන්න. ටිකක් සංකේත වැඩිපුර පාවිච්චි කලා.)

වර්ෂා යලිත් නිවසට පැමිණ සිටියාය. සිය උපන් නිවසේ තමාට හුරුපුරුදු පුටුවෙහි වාඩිවී හුන් ඇය පාර දෙස බලාසිටියාය. සාගර තවත් සුළු මොහොතකින් මෙහි පැමිණෙන බව ඈ දැන සිටියාය. ඊයේ හවස ඔහු දුරකතන ඇමතුමක් දුන්නේය.

“වර්ෂා මං හෙට උදෙන්ම එනවා. අද හවසම එන්නයි හිටියෙ. ඒත් ඩොකියුමන්ට්ස් ටික රෙඩි කර ගනිද්දි පරක්කු වුනා“ 
ඒ ඔහුගේ සුපුරුදු ස්වරයයි.

“ දුව, ඔය තේ එක නිවෙනවා“ මවගේ කටහඩ ඇයට ඈතින් ඇසිණ.

කල්පනාවෙන් මිදුනු ඇය තේ කෝප්පයේ දගලමින් සිටි කූඹියා පරෙස්සමින් ඇගිලි තුඩකින් ගෙන පත්තරයක කෙළවරේ තැබුවාය. ලද නිදහසින් ඇවිද නොගිය ඌ නිසෙල්මනේ සිටියේය.

“ඌ මැරිල වර්ෂා, දුක් වෙන්න එපා. ඒක ඔයාගෙ වරදක් නෙවිනෙ“ කෝපි අවන්හලේදී පේෂල පැවසූ අයුරු විදුලියක් සේ ඇගේ මතකයේ ඇදී ගියාය.

“ඒත්, මං කලින් කෝපි එක බිව්වනම් ඌ බේරෙන්න තිබ්බා“

“පිස්සු කෙල්ලෙක්“ පේෂල ඇගේ හිස අතගෑ අයුරු දැනෙන්නා සේ විය.

පේෂල, හදිසියේම ඇගේ මනසට ඇතුළුව සිටියාය. වර්ෂා කිසි විටෙකත් අතීතකාමිනියක නොවූවාය. අතීතය වල දමා වර්තමානය සමග එක්ව අනාගතය දෙස බලන්නට ඇය හුරුව සිටියාය. එය සහජයෙන්ම ඈ තුල පැවති ලක්ෂණයක් විය. එහෙත් කුමක් හෝ විස්තර කල නොහැකි සාංකාවක් නිසා ඇගේ සිත අතීත මතකයක් ස්පර්ශ කලාය.

සාගර ඇයට හමුවන්නේ දෛවෝපගත ලෙසය. පස් වසරකට පෙර ඇය ගුරුවරියක වීමේ සිහිනයක සිටියාය. එහෙත් අවසානයේ ඒ සිහිනය බිදදැමූ ඇය වැඩිදුර අධ්‍යාපනය සදහා ඉංජිනේරු පාඨමාලාවකට ඇතුලත් වූවාය. සාගර හමුවන්නේ එහිදීය. ඔහුගේ පෙනුමට වඩා, ඔහුගේ කතාබහද , හැසිරීමද ඈ වශී කරන්නට සමත් විය. ඉංග්‍රීසි වචන දෙක තුනක් පටලා වැදගත් ස්වරයකින් කතා කල ඔහුගේ අදහස් ගතානුගතික ඒවා නොවීය. ඔහු විවෘතව සමාජය දෙස බැලීය. ඕනෑම දෙයක් කෙරෙහි දැඩි ප්‍රතිපත්ති ඔහු තුල නොවීය. ඇය මේ ප්‍රතිපත්තිවලට ආදරය කලාද රැවටුනාද යන්න තාමත් ඇයට සිතාගත නොහැක. සාගරට ලං වීමත් සමග පේෂල කෙරෙන් ඈත්වීම ඇගේ සිතේ සංකීර්ණ මිශ්‍ර හැගීම් ඇතිකරන්නක් විය. එදා ප්‍රේමය, කෝපය, දුක, සතුට, බිය මිශ්‍රිත සංකීර්ණ හැගීම් සමුදායක ඇය ගිලී ගියාය. නමුත් අද ඒ සියල්ල අතීත මතකයක් පමණක්ව තිබේ. බල්ලෙකුගේ බිරුම් හඩින් තිගැස්සුණු ඇය අවසන් තේ උගුරද බී ජනේලයෙන් කර පොවා ගේට්ටුව දෙස බැලුවාය.

පාරේ යන සුදු හීන්දෑරි තරුණයෙකු වෙත බුරා පනින බ්ලැකී දුටු ඈ

“බ්ලැකී මෙහෙ එනවා“ යනුවෙන් බෙරිහන් දුන්නාය.
එහෙත් ලෝචනට බ්ලැකී බුරා පැන්න දිනයේ ඇය අඩ නින්දේ පසුවූවාය. ඒ වසර 12කට පමණ පෙරයි. ඔහු මෙතන සිටියානම් තමා සහ සාගර අද අරඹන අළුත් ජීවිතය ගැන හොද කතා ටිකක් කියනු ඇත. ලෝචන ඕනෑම බැරෑරුම් තත්වයක් විහිළුවට ගෙන කලබල ගතිය අඩු කිරීමට සමතෙකි. එහෙත් විටෙක ඔහු “පට්ට සීරියස්“ වෙයි. ලෝචන යනු එදා මෙදා තුර ඇයට හමුවූ හොදම මිතුරාය. පහේ පංතියේ සිට ඇරඹි මිතුරුකම අව්‍යාජ වූවක් විය. ඇගේ සහ ඔහුගේ විවිධ ජල්තරවලදී ඔවුහු එකිනෙකාට සහය වූහ.

“ලෝචනයා දැන් මොනව කරනවාද දන්නෑ“ ඇය ෆේස් බුක් එකේ චැට් කරමින් සිටින අතරතුර විමසුවේ පේෂලගෙනි. ඒ වසර අටකට පමණ උඩදීය.

“ඕකා මෙලහටත් උදේම නැගිටල අර බෝල ගේම් එක ප්ලේ කරනව ඇති. පුදුම පිස්සුවක්නෙ ඌට තියෙන්නෙ“

පේෂල , ලෝචනගේ කැම්පස් බඩියා හෙවත් අතීසාර මිත්‍රයා විය. අතීසාර කතාව හරියටම ගැලපෙන්නේ එකිනෙකා වෙනුවෙන් ඕනෑ මළක් නා ගැනීමට ඔවුන් සූදානම්ව සිටි බැවිනි. එසේ නාගත්, ගාගත් වාර අනන්ත වුවද ඒ සෑම වතාවකම ඔවුන්ගේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් විය. වර්ෂා , පේෂල මිත්‍රත්වය ඇරඹෙන්නේ ලෝචන හරහාය. ඒ මිත්‍රත්වයට ලෝචනයා එල්ල කරන සරදම් වාග් ප්‍රහාර සිහිපත් වූ ඇගේ කට කොණට මද සිනහවක් නැගින.

“ඒ උඹලෑ කැම්පස් එකේ ඉන්නව බං, අර අපේ ගණං පන්තියෙ හිටපු කළු කොල්ලා. හොයා දියංකො“ ඇය දිනක් ලෝචනට පැවසුවාය.

“මොන රෙද්දක්ද? ඇයි යකෝ මේ අපි වගේ සුදු කොල්ලො දිලිසි දිලිසි ඉද්දි, උඹල කළුවො පස්සෙ යන්නෙ?“

“අනේ මගෙ කට, උඹට බැරිද කියපන්“

“නම, නම. නම කියපන්“

“දන්නෑ බං“

“මගුල? එහෙනම් ඉස්කෝලෙ?“

“ආ, ඒකනම්.. ඒත් දන්නෑ බං“

“නාම් නහී, අත්තා නහී, පතා නහි මිලේගි? කේසෙ මිලේගී?“ ලෝචනයා චල්තේ චල්තේ චිත්‍රපටයේ දෙබස් ඛන්ඩයක් කියවාගෙන ගියේය.

ඔය සිද්ධියෙන් ටික කලකට පසු ඈ පේෂල හදුනාගත්තාය. ලෝචන හැමවිටම ඔය සිද්ධිය මතක් කර ඇයට විහිළු කළේය. දිනක් හවස පරිගණකය ඉදිරිපිට වාඩිවී සිටින විට ලෝචනගෙන් පණිවිඩයකි.
“ උඹලට ඉතින් දැන් අපි චැට් කලාට පේන්නෙ නෑනෙ“

“අනේ නෑ බං මං මේ පොඩි වැඩක හිටියෙ“

“ඔව් ඔව් මට උඹේ වැඩේ පේනව. අරූ මට ඉස්සරහනෙ ඉන්නෙ. එල එල ඔහොම යමං. ඌ හොද එකා. හැබැයි ඉතිං බූට් තියලනම් අහුවෙන්න එපා. ඔන්න එහෙනම් අපි කැපුන. කරගෙන යමං. අපිට පාටියක් දෙන්න කියපං උඹේ මිනිහට, හැබැයි වාං පාටි එපා“

උත්තරයක් ටයිප් කරන්නට පෙර ලෝචන ලොග් අවුට් වි සිටියේය. ඒ උගේ හැටිය. කිව යුතු ඕනෑම බැරෑරුම් දෙයක් සරලව සුන්දරව කියාදමයි. හැබැයි මේ සරල බව තුල ලොකු ගැඹුරක් පවතින බව වර්ෂා දැන සිටියාය. එතැනින් ඇරඹුණු වර්ෂා - පේෂල ආදරය, ගල්පර අතරින්, වියලුණු මෙන්ම සරුසාර මිටියාවත් මැදින්, වසන්තයේත්, ගිම්හානයේත් ගලා ගියේය. දෙදෙනාම තම තමන්ගේ ජීවිතවල අනාගතය දෙසට ඉදිරි පියවර තබමින් සිටියහ.

එහෙත් ආදර ගංගාවට සාගරය හමුවීමෙන් ගංගාවේ ගමන කෙළවර විය. එතැන් පටන් වර්ෂාවෙන් ගග වෙනුවට සාගරය පෝෂණය විය. සාගර වර්ෂාගේ ජීවිතය විය. එක දුෂ්කර ගිම්හානයක ගග සිදි යමින් තිබෙද්දී ලෝචන කතා කළේය.

“මොකද්ද බං මේ කියන්නෙ?“

“මට බෑ බං තවත්“ ඇය කීවාය.

“යකෝ උඹ දන්නවද උඹ මොකද්ද කියවන්නෙ කියල. අනික උඹ හොදාකාරව දන්නව මං කවුද කියන්න, පේෂල කවුද කියන්නත්. අවුරුදු ගාණක් උඹේ යාලුව වෙච්ච මට ඔහොම දෙයක් කියන්න ලැජ්ජ නැද්ද යකෝ“

ලෝචනගේ සුපුරුදු සැහැල්ලු බව අතුරුදන්ව තිබිණ. අදාල සෑම සියලු දෙනා අතර දුරකතන ඇමතුම් සිය ගණනක් හුවමාරු විය. දෙගිඩියාවක අතරමංව සිටි වර්ෂා සාගරගෙන් පිළිතුරක් බලාපොරොත්තු වූවාය.
“ඔයාගෙ හිත කියන දේ කරන්න. මට බෑ මේ දේ කරන්න කියල කියන්න. ඔයාගෙ හිතට එකගව තීරණයක් ගන්න. කවුරු උනත් තමන්ට හිතට එකග දේයි කරන්න ඕන. මාව එපා කියල හිතෙනවනම් කවදාවත් මා ලග ඉන්න එපා. තේරුමක් නෑ“ ඔහු සැමවිටම විවෘත ප්‍රජාතන්ත්‍රවාදී මතයක් දැරීය.

නමුත් පේෂල ආයාචනා කළේය. යෝජනා කළේය. අවසානයේ ඇය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කලාය. පළමු දින මෙන්ම අවසන් දිනද වර්ෂාට පේෂල මෙන්ම ලෝචනද හමුවිය. වර්ෂාව නැති කල ගග සිදී යන බව තහවුරු විය. ඇය නිවසට ගිය පසු ලෝචන ඇයව ඇමතුවාය. ඔහු “පට්ට සිරියස්“ වී සිටියේය.
“මචං උඹ දැක්කද අපි ගෙදර එද්දි, කොල්ලො වෙලේ සරුංගල් අරිනව?“

වෙලාවේ හැටියට අපබ්‍රංශ ප්‍රශ්නයකි. ඔහු ගැන හොදින් දත් ඈ “ඔව්“ යනුවෙන් පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙනි.

“ මාත් දැක්ක බං. සමහර සරුංගල් උඩු හුලගට අහුවෙලා කඩාගෙන යනව. කොල්ලො ඒ පස්සෙ දුවනව. උන් අමාරුවෙන් හදපුවනෙ. හැබැයි ඒව දිගටම ගහගෙන යනව. දුවල දුවල හති වැටෙන කොල්ලො නතර වෙනව. උන් ඊළග සරුංගල් වාරෙදි ආයෙම සරුංගල් හදයි බං. ඒත් අර සරුංගලේ, හුලග තියනකල් ගිහින් ගිහින්, කාත් කවුරුවත් නොදන්න තැනක, උස ගහක් උඩ රැදෙනව. අව්වට වේලිලා පාට ගිහින්, වැස්සට තෙමිල සව්කොල ඉරිල යනකල් කව්රුත් දන්නෙ නෑ. හදිසියෙවත් අර සරුංගලේ වෙන කොල්ලෙක් හොයාගත්තොත් ඌ අළුත් කොල අලවල ගනී. හැබැයි ඌට එතරම් මහන්සියක් නැති හන්ද ඒ සරුංගලේට මහ හුගක් ආදරේ නැතිවෙයි. උඹත් ලස්සන සරුංගලයක් වගේ බං. මං තියන්නම්. ගුඩ් ලක් “

ඇය බිරන්තට්ටුවී මොහොතක් බලා හුන්නාය.
එහෙත් ලෝචනගේ කතාව ඇයට කෙමෙන් අමතක වී ගියේ ගලාගිය ලාවා ක්‍රමයෙන් සිසිල් වෙද්දීය. ඉන්පසු ගිනි කන්ද යලිත් සුන්දර තැනක් බවට පත් විය. ඇය එහි රිසිසේ දුවපැන ඇවිද්දාය. අද ඇය මේ සියල්ලේ හැරවුම් ලක්ෂයකට ලංව සිටියාය. අද සිට අළුත් ජීවිතයකට පා තබන්නට ඈ සැරසෙන්නීය. මෝටර් රථයක හඩින් ඈ ජනේලයට උඩින් කර පෙව්වාය. ඒ සාගර නොවීය. ඔහු තව සුළු මොහොතකින් පැමිණෙනු ඇත. මේ දිනය ඉක්මන් කරන්නට ඇය සාගර සමග කතිකා කලේ පසුගිය සතියේ ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ එස් එම් එස් කිහිපයක් කියවීමෙන් පසුවය.
පණිවිඩය යවා තිබුණේ සාගර විසිනි.
“ නෑ ෂෙහානි, මං වර්ෂට ලං උනේ ඔයාව අජන්තට බන්දන්න ගෙදරින් තීන්දු කරපු නිසා. ඔයා දන්නවනෙ මං ඉස්කෝලෙ දවස්වල ඉදන්ම ඔයා ගැන හිතපු බව. දැන් ඔයා නිදහස්නෙ“
“එතකොට වර්ෂා?“

“ඔයා දන්නවනෙ අපේ කතාව. මං එයාට ඒ දවස්වලම කියල තියෙන්නෙ, හිත කැමති දේ කලාට ප්‍රශ්නයක් නෑ කියල. ආදරේ බලෙන් ගන්න බෑනෙ“

තවත් එස් එම් එස් ගණනාවක් තිබුණද ඒ කියවීමට තරම් ඇයට ශක්තියක් නොතිබිණ.
මෝටර් රථයක් ගේට්ටුව අසල නවතනු ඇසිණ. සාගර නිවස දෙසට පැමිණෙමින් සිටියේය. ඔහු වෙනදාට වඩා හැඩ වැඩ වී සිටින බව ඇයට සිතිණ. වැඩි සිනහවකුත් රැවීමකුත් නැති ඔහුගේ සුපුරුදු මුහුණ ඈ ඉදිරියේ දිස් විය.

“ඔයා මාව හරියට තේරුම් ගන්නව වර්ෂා. ඒකට මං ගොඩක් කැමතියි“ඔහුගේ සුපුරුදු වැදගත් කතා රටාව අවදි විය.

“එව්රි තින් විල් බී ඕ කේ වර්ෂා“ ඔහු පවසද්දී ඈ ඔහු දෙසම බලා සිටියාය.

“ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම රෙඩි කරගත්තා. ඔයාට සයින් එක දාන්නයි තියෙන්නෙ“

ඔහුගේ උරහිසට ඉහලින් ජනේලය තුලින් ඈත අහස ඇයට දිස්විය. පායාගෙන එන්නේ අළුත් ඉරකි. වියලී කොළ හැළුණු ගසක මුදුනේ රැදුනු සරුංගලයක් ඒ ඉර එළියෙන් ඇයට දිස් විය. ඇය වෙව්ලන දෑතින් පෑන අතට ගත්තාය.

“ආ මෙන්න ඩිවෝස් පේපර්ස්“

~විදුරංග ගුණසේකර ~
(සියළු නම් ගම් මනංකල්පිතයි)

Thursday, May 29, 2014

ආදරණීය වාඩුව

(ජීවිතයේ වසර කිහිපයක් මා හෙම්බත් කල සිදුවීමක් සාරාංශගත කළෙමි. මෙය සුඛාන්තයක්ද ශෝඛාන්තයක්ද යන්න තීරණය කිරීම ඔබටම බාර කරමි. මගේ පෝස්ට් කියවා මට දිරි දෙන සැමට ස්තුතියි.)

බත් මුලේ තිබූ 12 වෙනි කරපිංචා කොළයද මම ඉවත් කළෙමි. කැන්ටිමේ පිටිපස්සේකරපිංචා ගහක් හැදිලද කොහෙද මෙච්චර කරපිංචා දාන්නෙ. මම ඔරලෝසුව දෙස බැලීමි.

“තව විනාඩි 15ක් තියනව“ මස් කටුව සූප්පන ගමන් මම මටම කියා ගත්තෙමි.

ටිටි ටිං ටිං ටිටි ටිං ටිං ටිටි ටිං ටිං.... ටිං
හපොයි කන වෙලාවටම තමයි හැම එකාටම මාව මතක් වෙන්නෙ. මොකාද මේ? මම වම් අතින් දුරකතනය ගත්තෙමි.

“බුදු සරණ නම්බර් එකක්“

බුදුසරණ පත්තරේ ගහන්නෙ සිමිත පිටපත් ගාණක්නෙ. ඒ වගෙ තමා හච් සිම් එකත්. මොකාද ඉතින් මට බුදුසරණ නම්බර් එකකින් කතා කරන්නෙ.
“හලෝ“

“හලෝ“ එහා පැත්තෙන් තරුණියකගෙ හඩක්.

“ඔව්“

“ඔයා විදුරංග නේද?“

“ඔව්“

“මාව අඳුරන්න පුළුවන්ද?“

ඇයි යකෝ, මේකෙ සි එල් අයි තිබ්බට කතා කරන එකාගෙ උප්පැන්නෙ වැටෙන්නෙ නෑනෙ. එහෙම කියන්නත් හදල ,ආයෙ කවුද දන්නෙ නෑනෙ

“ම්ම්හු අදුරන්න අමාරුයි“
කිව්වට පොඩි හුරු ගතියකුත් තියනව වොයිස් එකේ.

“මං ශාලිකා, මතකද මාව?“

කිරි අප්පට බල්ලො හැට හතක් පැනපි කිව්වලු. මං මාවම කොනිත්තගත්ත.
“කොහොම අමතක වෙන්නද“

“ඔයා වැඩකද ඉන්නෙ?“

“අහ් ම්.. නෑ.. මං කෑම කනව“

“ආ ඕ කේ එහෙනම් ඔයා කන්න ඩියර්. මං තව ටිකකින් ගන්නම්“

“ආ.. හරි“

“බායි“

“බායි“
දුරකතනය විසන්ධි වුනා.

“මොකෝ බං උඹ හොල්මනක් දැකල වගේ“ ගයියා ඇහුවෙ කට කොණකින් හිනා වෙමින්.

“නෑ බං අයියෙ මාර සීන් එකක්නෙ උනේ?“

“ඇයි උඹට පර ලෝකෙන් කෝල් එකක් ආවද?“

“ඊට එහා“

“ඇයි මොකෝ අවුලක්ද?“

“එක්තරා ආකාරයක අවුලක් තමා. මගේ පරම පිවිතුරු කුළුදුල් ඛේදනීය ආදරේ.“

“ඉතින්?“

“නෑ ඒ කාලෙ එයා කැමති උනේ නෑ. දැන් මේ අවුරුදු ගානකට පස්සෙ කතා කරනව“

“ඉතින් යකෝ, ඕක බය වෙන්න දෙයක්ද?“

“හරි. හරි. මේ, මං යනව ප්‍රෝග්‍රෑම් එකට“ මම බත් පත අකුලා නැගිට්ටෙමි.
*************************
මම කැම්පස් යන අතරතුරම ගුවන් විදුලි නාලිකාවක සේවය කළෙමි. තවත් විනාඩි දහයකින් ඇරඹෙන ගුවන් විදුලි වැඩසටහන මෙහෙයවිය යුත්තේ මා විසිනි. වසර 7ක් ආපස්සට ගමන් කල සිත නැවතුණේ තිසේරා මැඩම්ගේ ගණං පංතියේය.

“ඒ අච්චු පොත පෙන්නපංකො“ කුෂාන් කිවේය

“පෙන්නන්නං හැබැයි උඹ කරන පාඩම නෙවි මං කරන්නෙ“

“ඇයි උඹ 35හේ දෙවෙනි අභ්‍යාසෙ ගණං ටික හදන්නෙ නැද්ද?“

“මං මිශ්‍ර අභ්‍යාසෙත් ඉවරයි බං. මං ඕක කලේ ගිය සතියෙ. මං දැන් යන්නෙ 38 බං“

“පුදුම පිස්සුවක්නෙ උඹට තියෙන්නනෙ“

යලිත් හිස පොතටම ඔබාගෙන ගණන් සෑදීම මම ඇරඹුවෙමි. ගණන් පංතියට යාමට මම කොහොමත් විරෝධය දැක්විමි. මට ගණිතයට පන්ති යාම අනවශ්‍ය බව මගේ පිළි ගැනීම විය. එහෙයින් පන්තියේ උගන්වන්නට මත්තෙන් අභ්‍යාසමාලා අවසන් කිරීම මගේ විනෝදාංශය විය. පන්තියට ගිය මොහොතේ සිටම ඔලුව ඔබාගෙන එක දිගට ගණන් හදන මම යලි ඔලුව උස්සන්නේ පන්තිය අවසන් වන වේලාවටය. එලෙසින් දවස් ගතවි යද්දි එක් දිනක් රාහු කාලය උදාවිය. කුමක්දෝ අහේතුවකට දිනක් ඔලුව උස්සා බැලූ විට දුටු දසුනින් මම ගල් ගැසුනෙමි.

“අම්මට සිරි “ කහෝනා ප්යාර් හේ එකේ අමිෂා පටෙල් එනව රතු පාට හෙල්මට් එකකුත් අතින් අරන්.

“අඩෝ කවුද බං අර?“ මං කුෂාන්ට ඇගිල්ලෙන් ඇන්නෙමි.

“ඇයි උඹ අදද දැක්කෙ? මොකෝ අහන්නෙ?“

“නෑ නිකං ඉතින්“ මම යලිත් මුහුණ පොතට ඔබාගත්තෙමි. ඇස් කොටුරූල් පොතේ තිබ්බද කොටු රුල් බොදකරමින් යටැසින් බැල්ම යොමු කලේ ඇය වාඩිවන තැන බැලිමටය. සෙමෙන් සෙමෙන් ඇවිද ආ ඇය පන්තියෙන් පිටත තිබූ ඩෙස්ක් එකක් මත හෙල්මටය සීරුවෙන් තැබුවාය. සන්සුන් ගමනින් ඇවිද ආ ඇය ඉදිරිපස පේළියේ අසුනක වාඩිගත්තාය.

මගේ දින චරියාව වෙනස් විය. ගණං පංතිය මගේ ප්‍රියතම පන්තිය විය. සෙනසුරාදා උදේ අට වන තුරු සතිය පුරා කල් මැරුවෙමි. මමද ඇයද පන්තියට අන්තිමටම පැමිණෙන දෙදෙනා වීමු. පන්තියේ දක්ෂයින් දෙදෙනාද වීමු. ඇගේ සැම ඉරියව්වක්ම මගේ නෙත් ග්‍රහණයට ලක්විය. එයට කිසිම බාධාවත් නොවුයේ කල් තබාම මම සියළු අභ්‍යාස මාලා අවසන් කල බැවිනි. ඇය සැරසූ සැහැල්ලු දිග කලිසමද වෛර්ණ අත් දිග බ්ලවුස්ද මා සිත් ගත්තේය. කැරලි ගැසුණු කොණ්ඩයට සහ සිහින් දත් පෙළට මම පෙම් කළෙමි. ඇය එනතුරු මෙන්ම පිටව යනතුරුද මම බලා සිටියෙමි. වසරක් ගත වුවද සිහින් සිනහවක් හුවමාරු වූවා මිස වැඩි දෙයක් සිදුනොවීය. අමරසිරි පීරිස්ගේ “ඔබ ඇපල් මලක් වාගේ “ ගීතය කිසිදු වෙනසකින් තොරවම මගේ ජීවිතයට ආදේශ විය. ඇගේ නම සොයාගත්තේද අපූරු ක්‍රමයකටය. සිදුකල අභ්‍යාස පරීක්ෂා කිරීමට පොත් තබා යායුතු වු දිනක ඇයට පසුව පොත තැබූ මම සැනෙකින් පොත්ගොඩම බිමට පෙරලා දැමුවෙමි.

“අනේ සොරි මැඩම් මං අහුලන්නම්“ එකින් එක පරෙස්සමින් අහුලා තැබූ මම සලකුණු කරගත් පොතේ නම කියවීමි.

“ශාලිකා විනෝද්‍යා කරුණාරත්න“
******************************
යළිත් දුරකතනය නාද විය.
බුදුසරණ අංකයමය.

“හලෝ“

“හලෝ, ඉතින් හදිස්සියෙ මොකද මාව මතක් වුනේ?“

“නිකං මතක් වුනා“

“කොහොමද නොම්බරේ හොයාගත්තෙ?“

“උවමනාවක් තියනවනම් හොයාගන්න ක්‍රමද නැත්තෙ“

අනේ හැබෑටම ඔය උවමනාව ඒ කාලෙත් තිබ්බනම් හිතට ආ සිතිවිල්ල “අහ්“ යනුවෙන් පිළිවදන් දී ගිල ගතිමි.

“ඉතින් දැන් මොකද කරන්නෙ“

“දැන්නම් මං ෆෝන් එකෙන් කතා කරනව හිටගෙන. ඊළගට ප්‍රෝග්‍රෑම් එකක් කරන්නයි යන්නෙ“

“ආ එහෙමද?. ටී වී එකේ නම් නිතරම දකිනව. එහෙනම් මං අහන්නම්“

“ආ හරි“

දුරකතනය විසන්ධි විය. අඩ හෝරාව ඉබේම ගෙවී ගියේය.
යලිත් බුදුසරණ අංකය දුරකතන තිරයේ දිස්විය. සැබවින්ම මම එය බලාපොරොත්තු වීමි.

“ ලස්සනයි විදුරංග“

“තෑන්ක්ස්“

“ඔයාට මතකද තිසේර මැඩම්ගෙ පංතිය. කහ පාට මල් වැටිච්ච ගුරු පාර“ ඇය ඇසුවාය.
***********************
ගුරු පාර දිගේ ඈ යනෙන තුරු දහස් වරක් මා බලා සිටින්නට ඇත. එහෙත් වටා පිටාවේ තබාගත් කීර්ති නාමය වෙනුවෙන් මම මුනිවත රැක්කෙමි. සිනහවෙන් පමණක් සැනසුනෙමි. ඇගේ මව තිසේරා ගුරුතුමියගේ සමිප හිතවතියක් වීමද එයට තවත් හේතුවක් විය.

දිනක් පන්තිය ඇරී යන විට ඇගේ පියා මෝටර් බයිසිකලය මදෙසට සමීප කරනු මම දුටුවෙමි. මල ජූලියයි. මොකක් හෝ මෝල් ගහක් පත්තු වී ඇතුවා නිසැකය. එළියට නොදැම්මාට මගේ බඩේ බිත්තර ඇති බව කිහිප දෙනෙක් දනී. ආදරයයි කැස්සයි හංගන්නට බැරි බව මොකෙක්දෝ කියා ඇත්තේ මේ නිසා විය යුතුය. හැකි තරම් පය ඉක්මන් කලද යතුරු පැදිය ඉස්සර විය. ඇය යතුරු පැදියෙන් බැස ගත්තාය. මල විනාසයකි. හුරු පුරුදු ගම මැද්දේ රෙදි ගැලවෙනු ඇත. මම සීතල වී ගියෙමි.

“විදුරංග“

“අ..ඇ ඇයි ශාලිකා??“ මම තුෂ්නිම්භූතව විමසුවෙමි.

“මට ඔයාලගෙ ඉස්කෝලේ සයන්ස් පේපර් එකයි මැත්ස් පේපර් එකයි ගෙනත් දෙනවද?“

මගුලක්නෙ. ඕක කියන්නද ඔච්චර මාව බය කලේ. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි.

“අයියෝ සුළු දෙයක්නෙ“
දත් තිස් දෙකම පෙන්නා මම කීමි. ඇය සුපුරුදු සන්සුන් ගමනින් ආපසු හැරුණාය. මම සුළගේ පාවෙන්නට වීමි. මට නිර්මාණය කරගත නොහැකි වූ සමනල පාලමක් ඇයම නිර්මාණය කලාය. සමණල පාලම දේදුණු පාලමක් කර ගැනීමට මම හදිසි නොවුනෙමි. දේදුන්න සැණෙකින් මැකී යා හැකිය. මම එයට බියවීමි. එන්නම් යන්නම් හිතවත්කමකට සහ විෂය කරුණු වලට පමණක් අපේ හිතවත්කම සීමා විය. සාමාන්‍ය පෙලට මාස දෙකක් තිබියදී අඩියක් පෙරට තැබීමට මම සැරසුනෙමි. ෆුල්ස් කැප් පිටු හතරක් විචිත්‍රවත් කල මගේ ආදරය සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය කාටත් හොරා සැකසී තිබිණ. එය ඇගේද මගේද හොදම මිතුරිය දර්ශනි අතට මම පත් කළෙමි. එහෙත් ශාලිකා පන්ති නාවාය. සති කිහිපයක්ම නාවාය. තව දුරටත් මගේ හසුන ළග තබාගත නොහැකි වු තැන මිතුරිය එය යලි මා අතට පත් කලාය. එය මගේ ගණිත පොත තුල තැන්පත් විය. ගත වූ සති කිහිපයේම ඇස් රිදෙන තුරු බලා සිටියද ඇය නාවාය. එහෙත් හදිසියේම එක් සතියක ඇය සුපුරුදු හිනාවෙන්ම සුපුරුදු ගමනින්ම පැමිණ සිටියාය. මම තුරුම්පු ආසියාම ගැසීමට තිරණය කළෙමි. මෙය නිසැකවම මට ලැබෙන අවසන් අවස්ථාවයි. පන්තිය අවසානයේ ඇය පියා ළගට යාමට පෙර ඇය හමුවිම සැලසුම විය. තිසේරා මැඩම් එදෙසට පැමිණීමට ඉඩ ඇත. එසේ වුවහොත් වැඩේ කොට උඩ යන අතර සායම හේදෙනු නිසැකය..

“කුෂාන්, මං පංතිය ඉවර උනු ගමන් යනව මේක දෙන්න. උඹ මැඩම්ගෙන් බැරි ගණං ගොඩක් අහන්න ඕන. හරිනෙ. හදිසියෙ හරි මැඩම් එනවනම් උඹ අමිලයව ඉස්සරහට එවපන් “

පන්තිය අවසන් විය. සැලසුම ක්‍රියාත්මක වෙයි. ඇය මට කලින් පන්තියෙන් පිටවුනද මගේ වේගයට ඇය පරාද වූවාය. ඇය මා ඉදිරියට සුපුරුදු සන්සුන්කමින් පියනගන්නීය. ගැහෙන වේගයට හදවත එළියට පනීදැයි මට සිතේ. උන්නත් දහයි මළත් දහයි. තව අඩි දෙකක් ඉදිරියට තැබීමි.

“ඇයි ඔයා පහුගිය ටිකේ ආවෙ නැත්තෙ?“

“නිකං.. මං පාඩම් කරනව ගෙදර ඉදන්“

“හ්ම්..ඔයාට දෙන්න දෙයක් තියනව“

“මොකද්ද“

“අරං කියවල බලන්න“

“මොකක් ගැනද?“

“ඔයා දන්නවනෙ ඒක. මං අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනෙ“

“මට බෑ විදුරංග“

“හරි දැන්ම නෙවෙයි. මං බලන් ඉන්නම්“

“මට බෑ“

“කවදාවත්ම?“ මං ඇහුවෙ මොකවත්ම නැතුවට වඩා බලාපොරොත්තුවක් තියන එක හොද නිසා.

“අපි බලමු ඉස්සරහදි හම්බ උනොත්“ ඇපෙන් ගැලවෙන පිළිතුරකින් ඇය ඉවත් වූවාය.
“මං යන්නම් විදුරංග. හොදට එක්සෑම් කරන්න“

ඇය මේක කලින්ම ඉගි කරලා තිබුණා. ඇගෙ අතින්ම හදපු කවරෙක දාලා මට දිපු වෙසක් කාඩ් එකෙනුත් මගෙ සමරු පොතේ තිබ්බ සටහනෙනුත්.
“හ්ම් ම්“ දිග හුස්මක් ඉහලට ඇදල පහලට හෙලද්දි. හැඩ වැඩ දාලා ලියපු ලියුමෙ කෑලි සිය ගාණක් ගුරුපාරෙ කහපාට මල්පෙති අතරට එකතු වුනා.
***********************
“අමතක වෙන්නෙ නෑ ඒ ගුරු පාර. අදටත් ඉදල හිටල එතනින් යද්දි මට ඒ පැත්ත බැලෙනව. අපි හිටපු බංකුවල පොඩි පොඩි පැටව් ඉන්නව. මට මං හිටපු හැටි මැවිල පේනව“

“ඒ කාලෙ ලස්සනයි විදුරංග“

“ඔයා ඇත්තටම එහෙම හිතනවද? මේ ඒක නෙවි, දෙයක් අහන්න ඇත්තම කියනවද?“ මං ඇහුවෙ හීන් හිනාවක් මුවේ රදවගෙන. ඒ හිනාවෙ අර්ථය සංකීර්ණයි.

“අහන්න, අනිවාර්යෙන් ඇත්තම කියනව“

“රේඩියෝ එකෙන් ඇහෙද්දි මගේ වොයිස් එක ලස්සනද?“

“අහ් ඒකද?“ ඇය ඇහුවෙ අනපේක්ෂිත පහරක් වැදුනු කලෙක මෙන් ගැස්සෙමින්.

“ඒකද කිව්වෙ? ඔයා හිතුවෙ මං මොකක් අහයි කියලද?“

“නෑ..හ් මට ඒක නිකං කියවුනේ. ලස්සනයි ඇත්තටම, ගැඹුරුයි, හොදයි“

“ඔයා දැන් සෙකන්ඩ් ඉයර් නේද?“ මං ඇහුව.
*************************
හන්තානට පායන හද මට නොපෙනුනාට ඈට පේන බව මං දැනන් හිටිය. එදා කහපාට මල්පෙති අතරට සිය ගාණක් කොළ කෑලි එක්ක සී සී කඩ ගිය මගේ බලාපොරොත්තුත් එකතු උනා. “අපි බලමු ඉස්සරහදි“ ඇගෙ වදන් මගේ කන්වල දෝංකාර දුන්න. ඒත් එක්කම මගෙ සමරුපොතේ ඈ වැල් අකුරින් තියපු සටහන ඇගෙ වදන් බොරු බවට සාක්කි දුන්න. “බී අ ග්‍රේට් බෝයි විදුරංග. යු හැව් ටු ෆුල්ෆිල් යුවර් මදර්ස් ඩ්‍රීම්“. ඒ සාක්කිය යට ගහපු මං හිතාගත්ත ඒ 10ක් ගත්තොත් තත්වය වෙනස් වෙයි කියල. අලුතින් නිර්මාණය වෙච්ච තත්වය හමුවේ කාලයක් හිතේ තිබ්බ ඒ 10ක අරමුණ පාවා දෙන්න මට ඕන කලේ නෑ. ඇය ඒ 9 බී එකක් ගනිද්දි. මම ඒ 10ම ගත්ත. ඒත් වෙනසක් වුනේ නෑ.

ඇයව හමුවෙන්න කිහිපවරක් උත්සහ කලත් ඒ කිසි දෙයක් සාර්ථක වුනේ නෑ. ඒ වෙද්දි මේ පරාජය සහ තවත් හේතු කීපයක් මත මට ඉගෙන ගන්න ඒ හැටි උනන්දුවක් තිබ්බෙ නෑ. භෞතික විද්‍යාව ඇරෙන්න අනික් විෂයන් මං ප්‍රිය කළේ නෑ. නොතේරෙන දේ එළවගෙන යන්න උත්සහ කළෙත් නෑ. එක්තරා රික්තයකට නොදැනුවත්වම මාව ඇදිල ගිහින් තිබ්බ. ඒකෙන් මිදෙන්න මං උත්සහ කළේ ඇයට උපන්දින සුබ පැතුමක් දෙන්න ඇගෙ කෙමෙස්ට්‍රි පන්තිය ලගට ගිහින්. උපන්දින සුබපැතුම් කොහොම වෙතත් මාව දැකපු ඇය අප්‍රමාණ භීතියකට පත් වුනා. මොකද පරාජිත ප්‍රේමයට පිහි ඇනුම් තෑගි කරපු රැල්ලක් ඒ දවස්වල තිබුණ. මගෙ තුන්හිතකවත් එහෙම දෙයක් නොතිබ්බත් මගෙත් එක්ක පොඩි කෝන්තරයක් තිබ්බ ඇගෙ මිතුරියො ටිකක් ඒක ඇගෙ ඔළුවට දාල තිබුණ. තාත්තව මං හිටපු පැත්තට දාපු ඈ පාර අයිනෙ තිබ්බ තාප්පෙ බඩගාපු නැති ටික විතරයි. හරියටම තමන්ව ගිලගන්න ඉන්න ඇනකොන්ඩාවෙක්ගෙන් ලිස්සල යන හා පැටියෙක් වගේ ඈ ගමන් කලේ. වස විලි ලැජ්ජාවයි. ඔන්න ඒ පිටිපස්සෙන් මගේ යාලුවෙක්. ගණදෙවි නුවණ පහල වුනේ එවලේ.

“මොන මගුලක්ද බං මං කොච්චර වෙලා ඉදන්ද ඉන්නෙ. කෝ උඹ ගෙනාවද මගේ පොත“ මං ටිකක් සද්දෙට ඇහුව.
ඌ තුෂ්නිම්භූත වෙලා බලද්දි උගෙ ඉස්සරහටම අඩිය තියපු මං දබරැගිල්ල තොල් හරහ තිබ්බ.
“තැන්ක් යූ මචං එහෙනම් අපි ගියා“ කියපු මම අඩියට දෙකට එතනින් මාරු උනා.
එකක් කඩතොලු මකා ගන්නට ගොසින් මට උනු වියෝයා. දෙකක් කඩතොලු හදා දුන්නයි ඉදුරුවේ ආචාරියා කිව්වලු. යන්න හැරුණත් අඩිය ගෙවල් පැත්තට ඇදෙන්නෙ නැති ගතියක් දැනුණා. වෙච්ච නෝන්ඩියට දරුණු ප්‍රහාරයක් දෙන්න මං තීරණය කලා...

ශාලිකාගෙ පියා පන්ති ඉවරවෙනකල් රැදිල ඉන්න බව මං දැනගෙන හිටිය. කෙලින්ම එතනට ගිය මං
“මට අන්කල් එක්ක ටිකක් කතා කරන්න ඕන“

“ඔව් පුතා.“ අන්ද මන්ද වෙලා ගිය අංකල් කිව්ව.

මගෙ කටට සට පට ගාල වචන ආවා. දෙපාරක් නොහිතම මං ඒව එළියට දැම්ම.
“අන්කල් මං ශාලිකාට ඇත්තටම ආදරෙයි තමයි. හැබැයි එයා හිතං ඉන්නව වගේ මෝඩ බොළද වැඩ කරන්න තරං මට පිස්සුවක් නෑ. ආදරේ කියන්නෙ ආදරේම විතරයි. අංකල්ට පුළුවන්නම් එයාට තේරුම් කරන්න මට බයවෙන්න හේතුවක් නැති බව“

“නෑ පුතා අපි දන්නව පුතා ගැන“ අනපේක්ෂිත ප්‍රහාරයෙන් අන්ද මන්ද වෙච්ච අංකල් වචන ගලපන්න ගත්තෙ මාව ෂේප් වෙන විදියට.මං ඒකට බාධා කලා

“නෑ අංකල් අපි දෙන්නට දෙන්න රවට්ටගන්න කතා කරන එක තේරුමක් නෑ. මං කියපු දේ පුළුවන්නම් එයාට කියන්න“ විරයා වෙලා හිටපු මං අසුරු සැණින් එතනින් මාරු උනා. විරත්වයට උපහාර දැක්වීමේ අරමුණින් ශාලිකාගෙ අම්ම මාව හමුවෙන්න ඕන බව කියල එව්වෙ ඇගෙ මිතුරියක් මාර්ගයෙන්.

“හරි, දිනෙයි වෙලාවයි තැනයි අහන් එන්න. මං එන්නම්“ මම හැරෙන තැපැලෙන් කිව්ව. නමුත් ඒ දිනෙයි වෙලාවයි තැනයි ඈ මට කවදාවත් කියල එව්වෙ නෑ.
*********************
“ඔව් මං දැන් සෙකන්ඩ් ඉයර්“ ශාලිකා උත්තර දුන්න

“දැන් එක්සිබිෂන් එහෙම බලන්න යන්නෙ නැද්ද“

“අපොයි. මොකද නැත්තෙ යනව. මේ ළගදි රාගම තිබ්බෙ මෙඩිකල් ෆැකල්ටියෙ එක්සිබිෂන් එක. ඒකටත් ගියා. ඇයි එහෙම ඇහුවෙ“

“නෑ, මතකද රෝයල් එකේ එක්සිබිෂන් එකේදි අපි හම්බ උනා?“ මාත් පරණ කතාවක් මතක් කලා.
**********************
ඒ දවස මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් උනා. අපිව පාසලෙන් එක්කගෙන යන්න නියම වෙලා තිබ්බෙ එක්සිබිෂන් එකේ අන්තිම දවසෙ. ගමන් අරඹපු මෙහොතෙ ඉදන් එතනදි ශාලිකාව මුණ ගැහෙනවමයි කියල මට දැනෙන්න ගත්ත. ප්‍රදර්ශනේ දවස් 7ක් තිබුණ නිසා ඇයත් අද මේ වෙලාවෙම එන්න තියෙන්නෙ අවම සම්භාවිතාවක් බව මම දැනන් හිටියත් යටි හිතට දැනෙන දේ මං ප්‍රබලව විශ්වාස කලා. ඒ නිසාම ප්‍රදර්ශන භූමියට ගිය ගමන් සගයන්ගෙන් වෙන් වෙච්ච මං ඇය සෙවීමේ මෙහෙයුම ඇරඹුව. උඩ ඉදන් පහලටත් පහල ඉදන් උඩටත් මං ඇවිද්දෙ පිස්සු බල්ලෙක් වගේ. ඔහොම යනකොට පුරුදු රූපයක් මං දැක්ක. දර්ශනී, ශාලිකාගෙත් මගෙත් ළගම මිතුරිය උනේ ඇය.

“මචං, ශාලිකා ඉන්නව කොහෙහරි හොයාගන්න හෙල්ප් එකක් දියං“ ප්‍රදර්ශනේ සීමා වෙන් කරපු ළණුවකට උඩින් පැන්න මම දර්ශනීගෙ අත්දෙකෙන්ම අල්ල ගත්ත.

“අත අතෑරපං යකෝ, මැඩම්ලත් ඉන්නව“

“හරි අතාරින්නං, උදව් කරනවද? “

“හරි හරි. මාර ආණ්ඩුවක්නෙ යකෝ මේක“

එහෙම උනත් අවසානෙදි මමම තනියම ශාලිකාව හොයාගත්ත. එතැන් ඉදන් ඇයට ලං වෙන්න උත්සහ කලත්, පිරිස වැඩිවුන තැනකදි ඇය මාව මගහරින්න සමත් වුනා. දෙවෙනි වතාවට ඇයව දකින කොට දර්ශනීගෙ කණට යමක් කොඳුරපු ඇය පාසලේ බස්රථයට වැදිල නොපෙනි ගියා. කියපු දේ මොකක්ද කියල දර්ශනී මට නොකිව්වෙ ඒකෙන් මට තවත් රිදෙන නිසා බව මම දැනන් හිටිය. ඒත් දෙකෙන් එකක් දැනගන්න ඕන වෙච්ච මම කිලෝ මීටර හතර හමාරක දුරක් හැල්මෙ දිව්වෙ ඇගෙ පාසල ළගට. මාර්ග තදබදය අස්සෙ වාහන ගාටන කොට ඊට කලින් මට අවශ්‍ය තැනට යන්න පුළුවන් උනා.ඔවුන්ගෙ බස් එක පාසලට ලං වෙන කොට අපේ කතාව දැනගෙන හිටපු ඇගෙ යෙහෙලියො බහුතරයක් ඇස් ලොකු කරගෙන මං දිහා බලන් උන්නා. දස අවතාරෙ වගේ හැම තැනින්ම මතුවෙන එක ඔවුන්ට මහ පුදුමයක් උනා. ඒත් අති සාර්ථක සියවෙනි වතාවටත් මගෙ උත්සාහය අසාර්ථක උනා. ඇගෙ හෙවනැල්ලක්වත් මට දකින්න ලැබුණෙ නෑ.

ඔය සිද්ධියෙන් හෙම්බත් වෙලා හිටපු මට වෙඩින් එකකදි තුල්සි අක්කව හමු උනා. මෙඩිසින් කරපු බ්‍රයිට් කේස් එකක් වෙච්ච තුල්සි අක්ක ගැන මගෙ හිතේ තිබ්බෙ හෙනම භක්තියක්.

“මොකෝ උඹ නැව ගිලිච්ච පයිලට් වගේ ඉන්නෙ? මොකක් හරි අවුලක් නේද?“ තුල්සි අක්ක ඇහුව

“ඔව්“ සරලව කෙටියෙන් මං කිව්ව

“වරෙන් යන්න අර පැත්තට. කියපං බලන්න කතාව“
මුල්ලක තිබ්බ මේසෙක වාඩිවෙලා කඩල ඇට හපන ගමන් මගේ ප්‍රේම පුරාණය සම්පූර්ණයෙන් දිගෑරිය.

“ඈ මී හරකො ඕකද දැන් උඹට තියන ලොකුම ප්‍රශ්නෙ. ඒ ලෙවල් වලට තව අවුරුද්දයි, ගොනා නොවී ඒක කරගනින්, කැම්පස් ගියාට පස්සෙ ඕව සේරම හරි. අනික මෝඩයෝ උඹ කෙල්ලො පස්සෙ ගිහින් බාල්දු වෙන්න ඕන එකෙක්ද? මොකද ඒකි අයිෂ්වර්යා රායිද?“ තුල්සි අක්ක ලොකු දෝස් මුරයක් දැම්ම.

“නැ අක්කෙ. ටිකක් අමිෂ පටෙල්ගෙ ලුක් එක තියනව“ මාත් ඇගට නොදැනි කිව්ව

“අනේ උඹේ අමිෂා. මං කියන්න නැ උඹට. පොල් බූරුවා“ හැබැයි ඒ එකක්වත් මගෙ කුඩා මොළයට දැනුනෙ නෑ. හැබැයි ඊළගට කියපු කතාවෙන් මට චතුරාර්ය සතයයම අවබෝධ උනා.
“මං උඹට ලව් කරන්න එපා කියන්නෙ නෑ. හැබැයි මේක මතක තියාගනින්. සිරා ලව් එකක් ඇතිවෙන්න දෙන්නට දෙන්න අතරෙ ආදරේ වගේම එකිනෙකා ගැන ගෞරවයක් තියෙන්න ඕන. ඒකි උඹව ගණන් ගන්නැත්තං එතන කොහෙද බං ආදරයක්?“

ඇත්ත නේන්නං. ඒ කාලෙ හාමුදුරුවරු බණ පද දෙකක් අහල මාර්ග ඵල ලැබුවෙත් මෙහෙම වෙන්නැති. කතාව හරි. එතනින් මගෙ මුළු ජීවන චක්‍රයම වෙනස් උනා. හැබැයි අවුරුදු එකහමාරක් නාස්ති වෙච්ච නිසා පළවෙනි පාරින් මොරටුව කැම්පස් යන්න බැරි බව මං දැනන් හිටියා. ඒත් හැකි සියලු වීරිය යොදන්න මං තීරණය කලා.
**********************
“රෝයල් එකේදි. ම්හ්. ඒවා පරණ කතානෙ“ ශාලිකා කිව්වා

“ඔයා එදා මොකද්ද දර්ශනීට කිව්වෙ?“ හරි උත්තරයක් නොලැබෙන බව දැන දැනත් මං ඇහුව.

“ම් ම් මට හරියට මතක නෑ විදුරංග, දැන් ගොඩක් කල්නෙ“

“හරි හරි ඒකෙන් කමක් නෑ. දැන් කොහොමද මධුරයට ඌ හොදින් ඉන්නවද? හම්බ උනෙත් නෑ ගොඩ කාලෙකින්“ සෑහෙන වෙලාවක් හිතේ කැකෑරෙමින් තිබ්බ ප්‍රශ්නෙ මං ඇහුව. ඒත් එක්ක මං ආපහු අවුරුදු තුනක් පස්සට ගියා.
****************************
ඒ ලෙවල්වලින් මට ලැබුනෙ බී එකයි සී දෙකයි. ශාලිකාට එතරම්වත් නොලැබිම මට විමතියක් වගේම සියුම් සතුටකුත් ඇති කලා. කැම්පස් යන්න පුළුවන් උනත් මගෙ ඉලක්කය උනේ මොරටුව විශ්ව විද්‍යාලය. එනිසා පළමුවර විභාගය අවසන් කල ගමන්ම මං ඊළග අවුරුද්දට ලැස්ති උනා. එවර මං ප්‍රිය කරපු මගෙ ආදරණීය භෞතික විද්‍යා පංතියම ශාලිකත් තෝරගෙන තිබුණ. ඒත් මට ඒක එතරම් විශේෂයක් උනේ නෑ. ඇය ගැන තිබ්බ බලාපොරොත්තු හිතේ කොණක තිබ්බත් මොරටුවට මං ඊට වඩා ප්‍රේම කලා.
දවසක් පන්ති ඇරිල යන අතරෙ බස් නැවතුම්පලේ හිටපු මගෙ සගයෙක් දැකල මං එතෙන්ට ලං උනා.
“අඩෝ මධුරයා, ක්ලාස් ඇරිල එ....“ මං මොහොකට ගොළු උනේ එතන හිටපු ශාලිකාව දැකල. “ආහ්..ශාලිකා“

“උඹ මෙයාව දන්නවද?“ මධුර ඇහුව

“මම? මම මොකද බන් නොදන්නෙ?“

“මං ඔයාට කිව්වෙ මධුර“ ශාලිකා තොල් මැතිරුව

“ මං යන්නම් බං“ කියපු මං එතනින් ඉවත් උනේ එතනට ගිය ගොන්කම ගැන සිතමින්.

ටිකකින් මධුර මා ළගට ආවා.
“අඩෝ සොරි බං, සිරාවටම සොරි, මං දැනන් හිටියෙ නෑ උඹ මැරීගෙන ට්‍රයි කළේ ශාලිකාට කියල. ඒ ලෙවල් ලියද්දි එක්සෑම් එකට අපි එක වෑන් එකේ ගියෙ. එතකොට අදුරගත්තෙ“

“පිස්සුද බං. උඹ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න මගෙන් අවසර ගන්න ඕනද? ඕක අතෑරල දාපං. මං ඒක අමතක කරල ගොඩක් කල් “ ඇත්තම නොවුනත් මං ඇත්තම වගේ කියල දැම්ම. එදයින් පස්සෙ ශාලිකාව දැක්කත් නොදැක්ක ගානට ඉන්න මං පුරුදු උනා. ඒක මගෙ හිතට පහසුවක් උනා.
ඒ වෙද්දි සෑහෙන දුරට මිනිස්සුන්ගෙ හිත් කියවන්න හුරුවෙලා හිටපු මට එක දෙයක් තේරුණා. අඩුම තරමේ මං විශ්වාස කලා. ක්ෂණිකව ඇතිවෙච්ච ඒ ආදරේ ආකර්ශණයක් විතරක් බවත් ඒක ක්ෂණිකවම අවසන් වෙන බවත් මං විශ්වාස කලා.
*******************
“ඒක ඒ දවස්වලම ඉවර උනා විදුරංග. ඒක මතක් කරන්නවත් මං කැමති නෑ“

“ඇයි?“

“එයා ගැන මතකය, තාර ගුලියක් වගේ ගුලි කරල විසි කලා මං“

“හරි හරි ඉට්ස් ඕකේ. ශාලිකා මං දැන් ඊළග ප්‍රෝ ග්‍රෑම් එකට ලැස්ති වෙන්න ඕන. මං තියන්නද?“

“ආහ්. කීයටද ?“

“11ට. තව විනාඩි 40යි තියෙන්නෙ“

“හරි මං අහනව. ලස්සනට කරන්න“

කොහොමටත් ආදරයටම වෙන්වුනු ඒ වැඩසටහනේ, මං කලින් සූදානම් කරපු ගීත පෙළ ගැස්ම වෙනස් කරන්න මං තීරණය කලා. මගෙ හිතේ වැඩසටහන ගැන වගේම මං ගැනත් ක්ෂණික සැලසුමක් නිර්මාණය වෙලා තිබුණ. මං මැදිරිය තුලට ගියෙ අමුතුම හැගීමකින්. සයිලන්ට් කරපු මගෙ ජංගම දුරකථනය සිඩී තැටි මිටිය ළගින් තියල මං වැඩ පටන් ගත්ත.
“ජීවිතේ හමුවිම් පුදුමාකාරයි. හිතන්නත් බැරි තරම්. මේ අපේ තවත් එක් හමුවීමක්. ආදරණීය හෝරාවක ඇරඹුමට ඔබේත් මගේත් මේ හමුවීම“
මගේ වදන් වලට යටින් ජගත් වික්‍රම සිංහගේ ප්‍රේමණීය හඩ
“ඔබ මා... හමුවේනම්....
එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට....“

ගෙවුණු කාලය තුල වදින්නට අවශ්‍ය තැනට ඉලක්ක කරන්න මං හුරුවෙලා හිටිය. ඒ නිසා ඊළග ඊතල පාරත් හරි තැනට වැදුනොත් ප්‍රතිචාරයක් ලැබෙන බවත් මං දැනගෙන හිටිය.
“ප්‍රේමය ,විරහව, හුදකලාව, විටෙක උන්මාදනීය ආනන්දයකට අපිව අරගෙන යනව. හුදකලාව තුල දැනෙන මාරාන්තික වේදනාව.. නිහඩ , පාළු රැයක...“
“උන්මා...ද සිතුවම් මැවේ බිදේ - මිහිදුම් වලා මැද අතීතයේ
බිදුනු පෙමින් ගිනිගත් හදවත් - තනිවේවි එක්ටැම්ගේ“ මාරාන්තික හුදකලාවක වේදනාව මුසු කරපු කපුගේගෙ හඩ ගුවනට මුසුඋනා..

“දහසක් මල් මැද එකම මලයි පැතුවේ - එමල කිමද සරදම් කර සැගව ගියේ“
හරි තැනදි පිළිතුරක් ලැබුණ.
එස් එම් එස් එකක්
“ මං දන්නව විදුරංග ඔයා ගොඩක් විඳවන්න ඇති. ඒත් මට ඒ කාලෙ ඒක තේරුණේ නෑ“

“මධුර විතරක් නෙවෙයිනෙ ඔයාගෙ ජීවිතේ හිටියෙ?“ මං දුස්රාවක් දැම්මෙ අමරසිරි පීරිස්ගෙ හඩත් එක්ක
“හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න“

ටික වේලාවකින් පිළිතුරක්
“ඔව් ඔයා හරි. ඒත් ඒ කවුරුත් මට ඇත්තටම ආදරේ කලේ නෑ.“
“ඔයාව මම ඒ දවස්වල තේරුම් ගත්තෙ නෑ. ඒකට විවිධ හේතු තිබුණ. මගෙ සමහර යාලුවොත් ඒකට හේතු උනා“ පිළිතුරට ඌන පූරණයක්.

ආයෙත් ජගත් වික්‍රමසිංහගෙ හඩ
“ඔබේ සිනා ළග නෙත නැවතුනුදා - ඔබේ කතා ළග සිත නැවතුනුදා
ප්‍රේමය හැදින්නෙමී මේ ලෝ තලයේ...“

ටිකකින් තවත් එස් එම් එස් එකක්
“විදුරංග හඳ විතරක් නෙවෙයි මෙහෙ තියෙන්නෙ. ගොඩක් ලස්සන දේවල් තියනව. මාර්ච්වලට මුළු පැත්තම මල්වලින් පිරෙනව. හරි ලස්සනයි. ඔයා එනවනම් බලන්න පුළුවන්“

ඒකට පිළිතුරු දීම මගේ සැලසුමේ තිබුණෙ නෑ. හංගගෙන හිටපු තුරුම්පු ආසියා මං ඇද්ද. ඒ දිවුල්ගනේ
“හන්තාන දෙසින් එන මුදු සීත පවන් රැලි නුඹ තාම හොදින් හදුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ මම බොහොම ප්‍රවේසම් කරගන්නම්“
ඇත්තටම මේ ගිතයේ එක පද පෙලක් මට එදා එක්සිබිෂන් එක සිහිපත් කලා. අමුතු හැගිමක් ඒ පද පෙලෙන් හැමදාමත් මං වින්දා.
“මහ සෙනග අතර නුඹ කොතැනක හෝ එහි හිඳිනු ඇතැයි නිකමට සිතෙනා“
තවත් එස් එම් එස් එකක්. හත් අවුරුද්දකට කලින් දහසක් බලාපොරොත්තු තියපු පණිවිඩයක් ඒකෙ ලියවිල තිබුණ බව මං ඉවෙන් වගේ දැනන් හිටිය.

“ඔව් මං ඒ පාන පත්තු කරන්න ලෑස්තියි. විදුරංග, ඔයා ඒක නිවෙන්න නොදී තියාගන්නවද?“

පිළිතුරක් යවන්න මම කල් මැරුව. මගෙ සැලසුමේ කූට ප්‍රාප්තියට මං එළඹිලා හිටියෙ. එනිසා මට කලබල වෙන්න දෙයක් තිබුණෙ නෑ. ගතවෙච්ච අවුරුදු හත ගොඩක් දේවල් මට උගන්නල තිබුණ. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අවුරුදු කිහිපයක් බලං හිටපු මට තව විනාඩි 30ක් ඉන්න බැරි නෑ. වෙහෙර ගිලපු එකාට අග්ගලාව කජ්ජක්ද? ශාලිකාට තව විනාඩි 30ක් බලන් ඉන්න උනාට කමක් නෑ. එක අතකට ඒ දඩුවම එයට මදි කියල මට හිතුන.
මධ්‍යම රාත්‍රියට තව මිනිත්තු කිහිපයයි. මම වැඩසටහනෙන් සමුගන්න සූදානම් උනා

“ඉගිලිලා යන කාලය අල්ලන්න අපිට පුළුවන් උනා නම්..., නමුත් අවාසනාවට එහෙම බෑ, ඉඩ දෙන්න අදට ඔබෙන් සමුගන්න, කාලය බොහෝ දේවල් නිවැරදිව තීරණය කරාවි. සුබ රාත්‍රියක්“

අලුත් දවසක උදාවට මිනිත්තු කිපයක් තියෙද්දි මං බලාපොරොත්තු උන පිළිතුර යවන්න මම තීරණය කලා

“ශාලිකා, මං හැමදාමත් හීන මැව්ව අහිංසක, පුංචි, හුරතල් මට ගොඩක් ආදරේ කරන කෙල්ලෙක්ට ආදරේ කරන්න. මහ හුගක් ආදරේ කරන්න. ඔයාට පිං සිද්ද වෙන්න මං අද ඒ දේ කරනව. එදා ඔයා ගත්ත තීරණේ හරියටම හරි. දැන් ඔයා ගොඩක් පරක්කුයි. අයි ඈම් වෙරි සොරි.“

-විදුරංග ගුණසේකර-
(ඇතැම් නම් ගම් පමණක් මනංකල්පිතයි)

Wednesday, May 28, 2014

හිතුමතේ (නො)කී කවිය

හිතුමතේ (නො)කී කවිය
සළෙළු උණුහුමක
පරවී ගිය කුසුමිය
ලද පිළුණු උණුහුමම
රෙට්ටුවෙන් දැනෙන කල...
කිරි සුවඳ නොගිය මුදු
ඉවකලා ලේ සුවඳ
තව තවත් තව තවත්
තව තවත් තව තවත්
රත්ව ගිය ලේ දහර
මත් කලා තුරුණු සිත
මොටවු අසිපතක් දැරු

දෑස් බැඳි යුවතියගෙ
අබලන් වු තුලා තැටි
එසවුවේ වෛරයම
එමතු නොව දහිරියද
තව තවත් තව තවත්
තව තවත් තව තවත්
කිසිදිනක නොදත් මුදු
එද්මොන් දාන්තේව
අරමුණද දහිරියද
දෙවැනි කරවුවා ඔහු
පැරදුනා දාන්තේ
පෙරට ගත් පය පෙරට
තව තවත් තව තවත්
තව තවත් තව තවත්
කුණුව ගිය ගඳ ගහන
සළෙලු ලේ සුවඳ මිස
නොලැබුණේ යලි දිනක
නිවහනේ මුදු සුවඳ
වැලිකඩද අනුරපුර
ගෙදර විය බෝගම්බරද..
දැස් බැදි තරුණියට
පසමිතුරු සියලු දෙන
ලයේ උණුහුම තියන
සොයුරන්ම වීය මට...
දෑස් බැදගත් හෙයින්
තුලා තැටි විසම බව
කඩුව මොට කෙරුණු බව
නොදැන මංමුලාවූ
අසරණවු තරුණියට
නොපෙනුනේ මුවහතයි
සහෝදර කැක්කුමේ
ඈ දුටුවෙ මුවහතයි
අත රැදුණු පිහිතලේ
ගලා ගිය ලේවලින්
නොහේදුනු කැක්කුමක්
හිරකලා ආත්මය
තව තවත් තව තවත්
තව තවත් තව තවත්
රෙට්ටුවද කොට්ටුවද
වෙනකෙකුට බාරදී
හිටි ගෙදර හැරදමා
නිදහස්ව ගියත් අද
හිස් අහස බොල් පොළව
නොවෙනස්ය හැම තැනම
තනිකමය හැමතැනම
රිදුම් දෙයි හදවතම
තව තවත් තව තවත්
තව තවත් තව තවත්
සුළං රැල් හමන්නේ
හිතුමතේ හිතුමතේ
මුහුදු රළ නගන්නේ
හිතු මතේ හිතුමතේ
ලෝකයා දුවන්නේ
හිතුමතේ හිතුමතේ
ඇවිද යමි ඔහේ
මම...
හිතුමතේ හිතුමතේ
-විදුරංග ගුණසේකර-
(2013.11.24 හිරෙන් නිදහස්ව ගිය “හිතුමතේ“ වෙනුවෙන් තැබූ සටහනකි. කියවීමට ආශාවෙන් සිටි “හිතුමතේ“ ගේ කතාව මාතට පත් කල දයාබර “කෝසි“ ට ප්‍රණාමය. ඔබටත් හිතුමතේගේ කතාව කියවිමට අවශ්‍යනම් පහත සබැදියෙන් බාගන්න.
https://www.dropbox.com/s/phj47brv7rb558d/Hithumathey.pdf)

Sunday, May 25, 2014

නොපිරූ පාරමී

 “මෙන්න අපේ පාරමී ගැන කවියක් ලියල“
අනේෂා අක්කා මගේ කවි කොළය අතේ තබාගෙන මොර ගෑවාය. පාරමී මා දෙස බැල්මක් හෙළුවාය. මගේ හද ගැස්ම වේගවත් විය. එහෙත් මම වෙනසක් නොපෙන්වා සිටියෙමි. පාරමී කෙරෙහි මා විශේෂත්වයක් දැක්වූ බව සැබෑවකි. පාරමීද කවි කොළය කියවා බැලුවාය.

පාරමී මට මුලින්ම හමුවන්නේ පුදුමාකාර අහඹුවකිනි. මගේ මතකය වසර තුනක් ආපස්සට දිවගියේය.

“ඒයි උඹව හොයන්න ඊයෙ සාහිත්‍ය සංගමෙන් ආව“ පන්තියේ මිතුරෙක් මා අමතා පැවසුවේ උදෑසන රැස්විම අතරේදිය.

“ඒ මොකටද බං“

“මං කොහොමද දන්නෙ ගිහින් බලපන්“

රැස්වීම අවසන් වූ සැණින් මා දිව ගියේ පන්තියට නොව ඉන්ද්‍රා මැඩම් හමුවීමටයි. සිංහල සාහිත්‍ය සංගමයේ සභාපතිනිය වූ ඇය මා දුටු විගසම ඇගට කඩා පැන්නාය.

“කොහෙද ළමයෝ ඊයෙ ගියෙ? අධ්‍යාපන අමාත්‍යංශෙ  සාහිත්‍ය වැඩමුළුවකට යවන්නයි හෙව්වෙ. අන්තිමේ මං ඕලෙවල් පන්තියෙ ළමයෙකුයි ආට් එකේ ළමයෙකුයි යැව්ව. අද ඒකෙ දෙවෙනි දවස. ආට් එකේ ළමය නාවොත් මං ඔයාට කතා කරන්නම්. අමාත්‍යංශෙ වැඩවලට හරිහමන් මනුස්සයෙක් යවන්න එපැයි“

මම ආපසු හැරී ගියේ මද පසුතැවිල්ලකිනි. මට වැඩි වේලා පන්තියේ රැදී සිටිමට සිදු නොවිණ. ඉන්ද්‍රා මැඩම් සදහන් කල ඕ ලෙවල් මල්ලි මා සොයා ආවේය.

“අයියෙ අර වැඩ මුළුවට යංද?“

අපි නියමිත ස්ථානයට යන විට අන් සියල්ලෝ පැමිණ සිටියහ. ඉතිරිව තිබ්බේ පසුපසම කෙළවරේ පුටු දෙකක් සහ ඉදිරිපසම පුටු දෙකක් පමණි.

“අපේ කොල්ලො කවද්ද බං පස්සට ගියෙ යමං ඉස්සරහටම“ මම සගයාට ඇගිල්ලෙන් ඇන්නෙමි. හරිම තැන වාඩිවී ඇති බව මට වැටහුණේ විනාඩි කිහිපයක් ගතවෙද්දීය. මට ඉදිරියෙන් සිටියේ හිම මෙන් සුදු කෙල්ලකි. හාවෙක් වැනි පුෂ්ටිමත් මුහුණකින් හෙබි ඇය සිය නිදිබර දෑසින් දේශකයා දෙස බලා සිටියාය. විටෙන් විට ප්‍රශ්නයක් දෙකක් ඇසුවාය. කෙල්ලෙකුට දෙවෙනි වීම මදිකමකි. දේශකයා ඇසූ ප්‍රශ්නයකට දෙකකට වියත් වදනින් පිළිතුරු දිමට මම සමත් වූයේ ඇයට කරට කර සිටිමිනි. ඇගේ සම්පූර්ණ අවධානය දේශනය වෙත වුවත් මගේ අවධානය දෙකට බෙදී ගියේය.

විවේකයෙන් පසු අපේ නම් සහ ලිපිනයන් ලේඛනයක සටහන් තැබිය යුතුවිය. පෝලිමේ ඉදිරියෙන් සිටියද, මම පරාර්ථකාමි වීමි. ඇයට සටහන් තැබීමට ඉඩ දුන් මම පෝළිමේ පසු බැස්සෙමි. මගේ වාරයද එළඹියේය.

“පාරමී සඳකැන්, වාව් ලස්සන නමක්“

විවේකයෙන් පසුවද ඇගේ අවධානය දේශනය වෙතම විය. වැඩමුළුවෙන් පසු අපි නිවෙස් බලා ගියෙමු. මගේ මතකයෙන් ක්‍රමයෙන් ඉවත් වූ ඇය සම්පුර්ණයෙන් මැකී නොගියාය. තදින් ඇදුනු පැන්සල් ඉරක් මකනයකින් මැකුවත් එහි සලකුණු ඉතිරිවන්නා සේ ඇය මගේ මතකයේ රැදී සිටියාය. ලාවට ඉතිරි වූ සලකුණු අලුත් කලේ සචිනි විසින්ය. ඒ මීට මාස දෙකකට ඉහතදීය.
නිවේදන කටයුතු පුහුණු වෙමින් සිටින අතර තුර ඈ මා ඇමතුවාය.

“අයියලගේ මීඩියා කෝස් එකේ අපේ ඉස්කෝලෙ අක්ක කෙනෙක් ඉන්නව“

“හැබෑට? කව්ද? මොකද්ද නම“

“පාරමී“

මගේ සිතෙහි එක්වරම අකුණක් කෙටුවාක් බදු ආලෝකයක් ඇතිවී නැතිවී ගියේය.

“පා...ර..මී ම්ම්ම්.... පාරමී සදකැන්ද?“

“අහ් ඔව් අයිය දන්නවද?“

දෛවෝපගත සිදුවීම් ගැන අසා තිබුණද අත්විඳ නොතිබුණු මම දැන් එය අත්විඳීමට සූදානම් උනෙමි. සතිපතා හින්දි චිත්‍රපට එකක් නෑර රූපවාහිනියෙන් නැරඹූ මම සංසාරගත බැඳීම් තරයේ විශ්වාස කළෙමි. ආශ්චර්යයකි!

“අපොයි මොකද මම නොදන්නෙ?“

“අහ් මං අක්කට කියන්නම්“

“වැඩක් නෑ“

“ඇයි“ ඇය ඇස් උඩ හිදුවාගත්තාය.

“මං එයාව දන්නව උනාට එයා මාව දන්නෙ නෑ“

“අපෝ එයා ඔයාව දන්නව ඔයා ප්‍රසිද්ධ චරිතයක්නෙ“

හීන් ආඩම්බරයක් මගෙ හිතට ඇතුළු විය. නිකංම ඉන්නවට වඩා හීන බලන්න කෙල්ලෙක් හිතේ ඉන්න එක හොඳ බව මම විශ්වාස කළෙමි. ඒකෙත් අමුතු ගතියක් තිබේ. කෙල්ල අකමැති වුවොත් කළ යුතුව ඇත්තේ සුළු දෙයකි. ඒ
“ඒකත් ඉවරයි බං“ යනුවෙන් පූර්ණයාට එස් එම් එස් එකක් යැවිම පමණි.
මින් ඉහත කෙල්ලෙකු පිළිබද වූ මගේ සංසාරගත, පුජනීය, ඒකපාර්ශ්වික ප්‍රේමය කෙළවර වූයේ ඇය මට එළුවෙකු සේ හීලෑ වීමත් සමගිනි. පසු කලෙක ඇය මට ආදරය ප්‍රකාශ කලත් එය ප්‍රතික්ෂේප කිරීමට තරම් හයියක් මට තිබිණ. මෙනිසා ප්‍රේම පරාජයන් සම සිතින් විද ගැනිමට මට හැකිවිය. ගිණි පෙනෙල්ලෙන් බැට කෑ නිසා මා කණා මැදිරියන්ට පෙම් කලේ උන් මට පෙම් කරන බව ප්‍රත්‍යක්ෂ වුවොත් පමණි. එහෙත් හීන බැලිමට මේ කිසිවක් අදාල නැත. සචිනි තවත් දින දෙක තුනක් පාරමී ගැන මට විස්තර කීවාය. පසුව හෙළි වූයේ ඇය අපේ මීඩියා කෝස් එකේ අපට පෙර පාඨමාලාවේ සිසුවියක් බවයි.

අපි වළක් හෑරුවොත් ඒකෙ ගෙම්බො පොකුරු පිටින් බව මට ප්‍රත්‍යක්ෂ විය. හැබැයි දෙන දෙයියො පන්න පන්න දෙන වෙලාවලුත් නැතුවාම නොවේ. එහෙම වේලාවක මිඩියා ක්ලාස් එකේ කෙළවරකින් දැකලා පුරුදු රුවක් මතුවිය.

“හුටා, පාරමී...“

ඇය පැමිණ සිටියේ මීළග සතියේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයක් සදහා අපේ සර්ගෙන් උපදෙස් පතන්නටය. එය ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක නිවේදකයන් තේරීම සදහා වූ සම්මුඛ පරීක්ෂණයකි. ඇගේ කතාව ඉවරවනතුරු මම ඉවසිලිවන්ත වීමි.

“එක්ස් කියුස් මී, ඔයා පාරමී නේද“

“ඔව්“ විපිලිසර දෙනෙතකින් ඈ මදෙස බැලුවාය

“ඔයා මාව දන්නෙ නෑ“ මම හඩ අවදි කළෙමි

“ඔයා නේද විදුරංග“

“අහ්“

“මට සචිනි කිව්ව. ඔයා කොහොමද මාව දන්නෙ?“

“හා.. ඒක දිග කතාවක් “ මම අතීත මතකය දිග හැරියෙමි.

“ම් ම් මට හරියටම මතක නෑ“

පළමු සංවාදය එතෙකින් නිමා විය. නිවසට යන විට මගේ නමට ලිපියක් ලැබී තිබිණ. ලිපිය විවෘත කළෙමි. සම්මුඛ පරීක්ෂණයකි.
“මළ කෙළියයි. පොල් ගහේ දෙල් කිව්වලු! ඇයි යකෝ පාරමී යන්නෙත් මේකටමනෙ“
සම්මුඛ පරීක්ෂණයදා ඇය ඔසරියකින් සැරසී සිටියාය. පාසල් කාලයට වඩා උස ගොස් සිටි ඇගේ පුෂ්ටිමත් බව මඳක් අඩුවී වඩාත් හැඩවී සිටියාය. නොවනස්ව තිබුනේ ඇගේ නිදිබර දෙනෙත පමණි. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් පසු අපි කතා කරමින් පාර දිගේ ඇදුනෙමු.

“ඉන්ටව් එක ගැන මොනවහරි දැනගත්තොත් ඔයා මට කියනවද?“ ඈ විමසුවාය

දෙන දෙයියො උඩ පැන පැන දෙනවනෙ
“කොහොමද ඉතින් කියන්නෙ?“

“ඇයි ළමයො කෝල් එකක් දෙන්නකො“

“ඔව් ඉතින්, ඒකට මං නම්බර් එක දන්නවයැ“

“අහ්, මට කියන්න ඔයාගෙ නම්බර් එක. මං මිස් එකක් දෙන්නම්“

“හරි. හැබැයි මගෙ ෆෝන් එක ඕෆ් වෙලා තියෙන්නෙ දැන්, ඔයා තව පැයකින් විතර මිස් එකක් දෙන්න“

පැය කිහිපයක්ම ගතවිය. මිස් කෝල් එක එන පාටක් නැත. බලාපොරොත්තු සුන් කරගත් මම වැඩේ අතහැර දැමුවෙමි. හැන්දැ යාමය වන විට දුරකතනය වරක් නාද වී නිහඩ විය. මිස් කෝල් එකනම් ආවේය. ඇත්තටම මේ පාරමීමද? මමද පිළිතුරු රින් කට් එකක් දුනිමි. කිසිදු හැල හොල්මනක් නැත. මේ කවුරුන්දැයි සැක හැර දැනගත යුතුය. ඒ අජිත් බණ්ඩාර සුපිරි තරුවක් වූ අවදියයි. මං මෙහෙම කෙටුවෙමි.

“සීත හැන්දෑකරේ මුදු සිසිල දැනෙනා වෙලේ
නුහුරු අංකයකින් කවුද මට රින් කලේ
අද උදේ වරුවේ (අදාල නාලිකාවේ නම) දී
මෙමට මුණ ගැසුණු පාරමීමද මේ“

පැයක් ගතවිය. කිසිම හැල හොල්මනක් නැත. මල නෝන්ඩිය වෙන එකෙක්ටද දන්නෑ මැසේජ් කරල තියෙන්නෙ. දැන් ඉතින් නෝන්ඩි වෙලා ඉවරනෙ කොහොමත් එකයි. තව එකක් යවනව.

“ඉගිලෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නෙ මට රින් කට් එකක්
මං එව්වෙ එස් එම් එස් එකක්
ඇයි නැත්තෙ තව මට පිළිතුරක්“

ඒ පාර වැඩේ පත්තු විය.

“ඔව් ඔව් මං පාරමී තමයි. ඔයානම් මහ පිස්සු ළමයෙක්“

 එහෙම ඇරඹුණු එස් එම් එස් සංවාදය දිගට ඇදුනි. දිනකට එස් එම් එස් කිහිපයක් හුවමාරු විය. මම විවිධ විලම්බීත දෙසා බැවෙමි. ඇය ඇගේ මැහුම් ගෙතුම් ගැන මට කීවාය. මගේ නුවණක්කාර පිළිතුරු හමුවේ ඇය මෙසේ කිවාය.
“අපෝ ඔයාට මැහුම් ගැන කියන එක එස්කිමෝලට පොල්ගස් නගින්න උගන්නනව වගේනෙ“
එදා පටන් මා ඇයට එස්කිමෝ විය. ඇය මට පාරෝ විය.

දිනක් මා ඇයට එස් එම් එස් කිහිපයක් යැවුවද පිළිතුරක් නොවීය.

“දෑස රිදෙනවා ෆෝන් එක දිහා බලා ඉදලා“

මම කෙටුවෙමි. ලැබුණු පිළිතුරින් මගේ දෑස් නළලේ රැදුනි.

“අයියෝ එස්කිමෝ ඔයා මොකටද ෆෝන් එක දිහා බලා ඉන්නෙ මං මගේ බෝයි මැසේජ් කරනකල්වත් බලන් ඉන්නෙ නැනෙ“

විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරිය. ඇදෙනකොට සුවිප් එක සුපිරි තෑග්ගම ඇදෙන්නේය. හැබැයි ඉතින් හින්දි චිත්‍රපට දහස් ගණනක අත්දැකිම් ඇති බැවින් මරණය පෙනි පෙනී වුවද පරදින්නට මම ලෑස්ති නැත.

“හැබෑටම? ෂිහ්, මටත් කෙල්ලෙක් හිටිය පාරො. ඒත් එයා මට නැතිවුනා“ මම කීමි

“ඇත්තටම ? කවුද?“

“ඔයා හොදටම දන්නව එයාව“

“කවුද?“

“එයාව බලෙන්ම බන්දලා දුන්නනෙ. මොනව කරන්නද?“

“මොනව,හරි පවු වැඩක්නෙ. මාත් දන්න කෙනෙක්? කවුද එස්කිමෝ, කියන්නකො?“

“ඔයා දන්න කෙනෙක් කල්පනා කරල බලන්නකො“

“ම් ම් ම් හු  මට මතක් වෙන්නෙ නෑ“

“හෙහ් හේ අයිෂ්වර්යා හලෝ එයාව බෑ කියද්දි අර අභිෂේක්ට බැන්දුවනෙ“

“ඔයානම් මහ පිස්සෙක් එස්කිමෝ. මං හිතුවෙ ඇත්තටම කියල“

“හරි හරි මං මගෙ කතාව කිව්වනෙ. දැන් කියන්නකො ඔයාගෙ බෝයි ගැන, ජෝන් ඒබ්‍රහම් නෙවිනෙ?“

“නෑ නෑ ලබන සතියෙ මුණගස්සන්නම්කො. ඒත් අපිට හරි ප්‍රශ්න එස්කිමෝ..“

“ඒ මොකෝ ඒ?“

මල ජූලියකි. මෙන්න ඒ පාර කෝල් කරනවා. මම වෙලාව බැලුවෙමි. දොළහට දහයයි. ආන්සර් කරනවද නැද්ද? මම කල්පනා කළෙමි.එකත් එකට මෙයාගෙ කොල්ලත් මගෙ අයිශ් වගේ තමා, ඒක කියන්න වෙන්නැති කතා කරන්නෙ. වෙන දෙයක් වෙද්දෙන්

“හලෝ“

“හලෝ“ එහා පැත්තෙන් රහසින් මුමුණණ හඩකි. “මං ගෙදරට හොරෙන් කතා කරන්නෙ, ඒකයි රහසින් කතා කරන්නෙ“

දැන්නම් ෆිල්ම් එකේ හොදම හරිය

“ඔව් කියන්න“ මමද ඒ ස්වරයෙන්ම පිළිතුරු දුනිමි. මට දැන් එලෝ මෙලෝ නැත.

“ඔයා මොකද කොදුරන්නෙ, ඔයාට කතා කරන්න පුලුවන්නෙ සද්දෙන්“

“අහ් ඔව්, ඇයි ඉතින් එස් එම් එස් කලානම් ඉවරනෙ“

“නෑ එස්කිමෝ මට ඔයාට මෙහෙම කියන එක ලේසි“

පන්දුව කඩුල්ල තුලට දග කැවෙන බව මම සිතා සිටියද එය කඩුල්ලෙන් ඉවතට දෝලනය විය. ඇය කුෂාන් පිළිබද සියලු දෑ මා සමගින් පැවසුවාය. ඉතිරිය වාක්‍ය කිහිපයකින් විස්තර කල හැක. චිත්‍රපට අත්දැකිම් අනුව ඊළගට මා කළ යුතු වන්නේ කොල්ලා හොද එකෙක්දැයි විස්තර සොයාගැනිමයි. එය අපහසු නොවිය. මුණ ගැසුණු පසු කුෂාන් හා මම හොඳ මිතුරන් වීමු. කුෂාන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “සිරාවටම“ හොද කොල්ලෙක් විය. එවරනම් ඉරි නොතබා හොදම මකනයකින් සියල්ල මකා දැමිමට මම තිරණය කළෙමි. ඉතිරි වූ මකන කුඩු මකා දැමීමට පද හතරක් ගොනු කළෙමි. මීඩියා කෝස් එකේ අවසන් විභාගයේදී අපගේ සාහිත්‍ය නිර්මාණද භාර ගැණින. මා කලින් සූදානම් කර තිබූ නිර්මාණ අතරට මේ පද හතර ගොනු කල නිර්මාණයද ඇතුලත් විය.

නොපිරූ පාරමී

පුරස‍ඳ යයි සිතූ සඳ
අමාවක වූ සඳ
ගණඳුරට පෙම් බදින
පුංචි කණමැදිරියාද මම

පාරමී අතින් ගත් කවි කොළයට කුෂාන්ද නෙත් හෙලීය. මම ඔවුන් දෙදෙනා දෙසම නෙත් හෙලීමි.

“මට පරක්කු වෙනව බං. අද හවස රෙකෝඩින් මං ගියා එහෙනම්“ මම කුෂාන්ගේ පිටට තට්ටුවක් දැමුවෙමි.

“අපි ගියා පාරෝ“ මම එතනින් ඉවත් විමි.

“ඌ පට්ට හිත හොද කොල්ලෙක්“ කුෂාන් මුමුණනු මට යන්තම් ඇසුණි.

චිත්‍රපටියේ “දි එන්ඩ්“ වැටීමට කලින් කළ යුතු යමක් ඉතිරිව තිබිණ. අවසන් එස් එම් එස් එක කෙටිමට පටන් ගතිමි.

“ඒකත් ඉවරයි බං“


-විදුරංග ගුණසේකර-
(මගේ නම හැරෙන්නට සියලු නම් ගම් මනංකල්පිතය)



Monday, May 19, 2014

බාලයාගේ සිහිනය

හාත්පස විහිදී පැවතියේ ඝන අන්ධකාරයයි. දහවල ගිනියම මැකී යද්දී කෙමෙන් කෙමෙන් දැඩි ශීතලක් ඔහුගේ කුඩා සිරුර වෙලා ගත්තේය. එක් අතෙකින් ඔහු වික්ෂිප්තව සිටියේය. ඔහු දැන සිටියේ කිසියම් නපුරු මිනිසුන් පිරිසක් ඔහුගේ පවුලේ අය ලුහුබදින බව පමණි. කැළෑ මැදින් ගමන් කල මේ ගමන ඔහුට එක්තරා විනෝදයක්ද ගෙනදුනි. එහෙත් කිසියම් අනියත බියක් විටින් විට ඔහුගේ සිතෙහි ඇතිවී නැතිවී ගියේ අහසේ දිස්වන උල්කාපාතයක එළියක් මෙනි. "අම්මා අන්න" ඔහු මවගේ අතින් අල්ලා අහස දෙසට අත දිගු කළේය. එය නිසැකවම උල්කා වරුසාවක් නොව මල් වෙඩි සංදර්ශනයක් මෙන් විය. ඔහු එයට ප්‍රිය කළේද අප්‍රිය කළේද යන්න ඔහුටම සිතාගත නොහැකි විය. කුඩාම අවදියේ මේ දර්ශන ඔහුට නුහුරු වුවද මෑතක සිට ඔහු මේ දර්ශන වලට හුරු වූයේය. මල් වෙඩි සමග නැගෙන පිපුරුම් හඩ මුලදී ඔහු තිගැස්සුවද පසුව එය කම්මලේ බල්ලාට මෙන් විය. ඔහුගේ පියා සමග පැවති කෝන්තරයක් පිරිමසා ගැනීමට පැමිණෙන මේ දාමරිකයන්ගෙන් සැගවී පළා යාම ඔවුන්ගේ අරමුණ විය. ජීවිතයේ අනියත බව පිළිබද හැගීමක් නොතිබුණෙන් හේ සිහින මැවීය. බෙන් ටෙන් ඔරලෝසුව තිබුණේනම් සතුරන් සුන්නද්ධූලි කර පියා ගලවා ගැනීමට හැකිව තිබූ බව ඔහු කල්පනා කළේය. ඇතැම් විට තව මොහොතකින් මෙතැනට පැමිණෙන පිටසක්වලයන් තමන්ට උදව් වනු ඇතැයිද ඔහු සිහින මැවීය. සුපර් මෑන් හෝ අයන් මෑන් වුවද පැමිණෙන්නට ඉඩ ඇතැයි ඔහු දිගටම කල්පනා කළේය. සෑම විටම නපුර පරාජය වන බව ඔහු තරයේ විශ්වාස කළේය. ඔහු බලාපොරොත්තු සහගත විය. පවුලේ අතබාලයා වූ ඔහුට සැමගේ ආදරය නොමදව හිමිවිය. ඝන උඩු රැවුලින් අනෙකුන්ට රෞද්‍රයයි සිතුණු සිය පියාගේ මුහුණ ඔහුට ආදරබර විය. ප්‍රතාපවත් පුද්ගලයෙකු වූ පියා ඔහුට වීරයෙක්ම විය. එහෙත් අද ඔහුගේ මුහුණේ බියක සේයාවක් රැදී ඇතැයි ඔහුට සිතිණ. එසේ විය නොහැක එය තමාගේ හිතලුවක්ම බව ඔහු කල්පනා කළේය. ඔහුගේ දැහැන බිදී ගියේ මව ඔහුව තරයේ සිප වැළද ගැනීමත් සමගය. ඇගේ බියමුසු දෙනෙතේ කදුලු රැදී තිබිණ. දෙපිරිසක් ලෙස වෙන්ව ගමන් කිරීම වඩා ආරක්ෂාකාරී බව පියාගේ තීරණය විය. එහෙයින් මව සහ සොයුරිය ඔහුගෙන් වෙන්ව යාමට සූදානමින් සිටියහ. සොයුරිය හිස් බැල්මෙන් ඔහු දෙස බලා සිටියා විනා කිසිත් නොකීවාය. ඔහු පියාගේ අතේ එල්ලී ඔහුට තුරුළු වූයේය. එක් අතෙකින් සිය වැඩිමල් සොයුරා මෙයින් ගැලවී සිටීම පිළිබද ඔහු සතුටු විය. ඔහු නිවසින් පිට වූයේ දින දෙකකට පෙරය. හෙට හිරු නැගෙන විට ආරක්ෂිත ස්ථානයකට ගොස් සියල්ලන් සමග සතුටින් සිටිය හැකි බව පියා ඔහුට පැවසීය. අපහසු වන්නේ රැය ගෙවා ගැනීමයි. අන්ධකාරය අන්තරාදායක බව සිය දහස්වරක් රූපවාහිනියේ නැරඹූ කතාවලින් ඔහු ප්‍රත්‍යක්ෂ කරගෙන සිටියේය. අරුණාලෝකය පිළිබද ඔහු සිහින මැවීය. මේ නපුරු සිහිනයෙන් මිදීමට තව ඇත්තේ ටික වෙලාවක් නොවේදැයි කල්පනා කල ඔහු ප්‍රීතියට පත් විය. සිය උපන්දිනයට දුරස්ථ පාලකයක් සහිත දැවැන්ත මෝටර් රථයක් ලැබෙන තුරු සතියක් හමාරක් නොඉවසිල්ලෙන් කල්ගෙවූ තමාට මේ පැය කිහිපය කජ්ජක්දැයි ඔහු කල්පනා කළේය. වෙහෙර ගිලපු එකාට අග්ගලාව කජ්ජක්දැයි කීවාට අග්ගලා ගැන තරම් අවබෝධයක් ඔහුට වෙහෙර පිළිබදව නොවීය. ඔහු කලපනා කලේ තමාගේ උපන්දිනයට ලැබුණු මෝටර් රථය ගැනය. එය තමාගේ කාමරයේ තිබූ කුඩා කැබිනෙට්ටුව තුල හුදකලාවී ඇත. බනී නමින් හැදින්වූ ඔහුගේ සෙල්ලම් හාවාද හුදකලා වී ඇතැයි කල්පනා වූ ඔහුට හැඩුම් ආවේය. එහෙත් තව පැය කිහිපයක් පමණි යන සිතිවිල්ල ඉකිය ඔහුගේ උගුර තුලම සැගවීමට සමත් විය. ගමන නැවතින. කැළයේ වූ දැවැන්ත මුල් රැසකින් සැදුනු බිමකට ඔවුහු පැමිණ සිටියහ. බිම මදක් තෙත් ගතියක් වුවද රැය ගත කිරීමට ඔවුහු එතැන තෝරාගත්තේ ලුහු බදින්නන්ගෙන් සැගවීමට එය වඩා යෝග්‍ය වූ බැවිණි. දැඩි වෙහෙසකට පත්ව සිටි ඔහුට නින්ද සොයායාමට ඇවැසිව නොතිබිණ. පැය කිහිපය පිළිබද සුන්දර සිහින ඒ නින්ද සැරසීය. පියාගේ උණුහුමට තව තවත් ළං වීමට ඔහුට ඇවැසි විය. එහෙත් යළිත් මල් වෙඩි පිපිරෙන හඩින් සහ දැවැන්ත ආලෝකයෙන් සිහින විසරී ගියේය. එවර එය වඩාත් සමීපය දෙකන් බිහිරිව දෙසවන් නිලංකාරව ගියේය. "තාත්තා තාත්තා " එය ආමන්ත්‍රණයකට වඩා විලාපයකට සමීප විය. ඔහුට රැකවල් ලා නොපියා සිටි දෙනෙත් නොවසාම පියා උඩුබැලි අතට බිම වැතිරී සිටියේය. "තාත්තා තාත්තා " ඔහු යළිත් මොරගෑවේ පියවි ලොවත් සිහින ලොවත් අතර විශ්වාසයත් අවිශ්වාසයත් මිශ්‍රිතව ඔහු මොර ගෑවේ පියා පිළිබද පීඩිතව මිරිකුණු හවතින්ද, අපේක්ෂා භංගත්වයේ ශෝකයෙන්ද, අසීමාන්තික බියකින්ද යන්න කිසිවෙකු නොදත්තේය. අවසන ඔහු ඉදිරියට දිවගියේ කිසිවෙකුගේ අණකින්ද නොඑසේනම් ඔහුටම හැගී ගිය නිසාදැයි ඔහු කිසිදින වටහා නොගත්තේය. වැඩිමනත් සිතිවිලි හිතපුරා දිව නොගියේ එක්වරම ඔහුගේ දෙනෙත් ඝනාන්ධකාරයකින් වැසීගිය බැවිනි. ඔහුට නොසිතුණු ඔහු නොදත් එමෙන්ම යලි කිසිදිනෙක ඔහු දැන නොගන්නා කරුණ වූයේ ඔහු මොහොතකට පෙර දුටුවේ සිය සෙනෙහෙබර පියාගේ මළ සිරුර පමණක්ම නොවන බවයි. එය ඔහුගේ පියාගේ මෙන්ම කාලයක් තිස්සේ මිලියන 20ක් මිනිසුන් අපේක්ෂා කල වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළසිරුරද විය.

-විදුරංග විලෝචන ගුණසේකර-

Sunday, May 18, 2014

ඔන්න මාත් සිංදුවක් ලිව්ව

කොච්චර කවි ලිව්වත් සිංදුවක් ලියන්න තේරෙන්නෙම නෑ. මෙලඩි එක කොහොමද දාන්නෙ කියන එක තමා අවුල. හිතවත්තු නමි කියන්නෙ "උඹ පැහෙන්නැතුව හිතෙන එක ලියපන් මෙලඩිය දාන එකා ඒක කරගනී" කියල. ඒත් ඉතින් මං පැහෙනවනෙ! ඒ හන්ද සිංදුවක් ලිව්වෙම නෑ. ඔහොම ඉන්නකොට නදීර ශ්‍රී ඒකනායක මගෙ සහෘදයා මට මෙලඩියක් එව්වා සරල වචන ටිකක් දාලා දෙන්න කියලා. ඉතින් ඔන්න මාත් පොඩි උත්සාහයක් ගත්ත. මේක ගීතයක් වෙයි නැද්ද කියන එක මං තාම දන්නෙ නෑ. ඒත් කියවල බලන්නකො.

Thursday, May 15, 2014

ප්‍රීති වෙසක් සහ අපේ ශ්‍රද්ධාව

තවත් වෙසක් සදක් උදාවිය, ප්‍රීති වෙසක් යැයි සැම අතින් ඇසේ, නැතහොත් දක්නට ලැබේ. එසේ සදහන් එස් එම් එස් කිහිපයක්ද ලැබිණ. සැබවින්ම ප්‍රීතියක් මේ වෙසගෙහි තිබේදැයි මට සිතේ. බෞද්ධයන් වශයෙන් ප්‍රීති වීමටනම් අපි ධර්මානුකූල මාර්ගයක යමින් සත්‍යාවබෝධය කරා ගමන් කල යුතුය. එවිට බෞද්ධයන් වශයෙන් නිරාමිස ප්‍රීතියක් භුක්ති විදිය හැකිය.
නමුත් සිංහල බෞද්ධ ලේබලය අලවාගෙන සිටින බහුතරය බුදුන් වදාල මාර්ගයේ නොයන බවනම් සක්සුදක් සේ පැහැදිලිය. අපට වැරදුනේ කොතනද සොයනවාට වඩා හරි මාර්ගය ඇත්තේ කොතනද සෙවීම සුදුසු යැයි මට හැගේ. එවිට වැරදුනු තැන් ඉබේම හමුවනු ඇත.
පෘථග්ජනයින් ලෙස අපව නිවන් මගට යොමුකරන පළමු පියවර ශ්‍රද්ධාවයි. අද අපි එළියට ගොස් බැලුවොත් ශ්‍රද්ධා සම්පන්න බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත ගණනින් දැකගත හැක. මමද ඔබද විවිධ පින්කම්වලට දායක වන්නෙමු. නමුත් අප තුල සැබෑ ශ්‍රද්ධාව පවතීද?
බුදුන් වහන්සේ වදාල පරිදි ශ්‍රද්ධාව කොටස් දෙකකි.
1. අමූලිකා ශ්‍රද්ධාව
2. ආකාරවතී ශ්‍රද්ධාව
වර්තමානයේ බහුතරයක් තුල පවතින්නේ අමූලිකා ශ්‍රද්ධාවයි. ඇතැම් ස්වාමීන් වහන්සේලාද බෞද්ධයන් අමූලිකා ශ්‍රද්ධාවට යොමු කිරීම ඛේදජනකය. අසවල් පන්සලට වඩා හොදට අපේ පෙරහර කළ යුතුයැයි දායකයන් මෙහෙයවන ස්වාමීන් වහන්සේලා මෙන්ම පන්සලේ අසවල් වැඩේට හැම දායකයෙකුම මෙපමණ මුදලක් ලබා දිය යුතු යැයි නීති පනවන ස්වාමීන් වහන්සේලාද අපි දකින්නෙමු. පන්සලකට යන බැතිමතුන් සංඛ්‍යාව මෙන්ම නායක ස්වාමීන් වහන්සේ පිළිබදවද මනින්නේ පන්සලේ ඇති භෞතික සංවර්ධනය සැලකිල්ලට ගනිමිනි. සක්කාය දිට්ඨියෙන් සිදුකරන ක්‍රියාවන් සියල්ල අමූලිකා ශ්‍රද්ධාවට අයත්ය. අරයට වඩා ලොකු දානයක් මං දෙනවා යයි කියමින් පින් දහම් කරන් ඇත්තෝ අමූලිකා ශ්‍රද්ධාවෙන් යුක්ත වූවෝය. කිසිවක් බුද්ධියෙන් නොවිමසා සෑම දෙයකටම සාදු කියන්නෝ අමූලිකා ශ්‍රද්ධාවෙන් යුක්තය. ඔවුහු එමගින් කුසල් නොව අකුසලයන් වඩති. අමූලිකා ශ්‍රද්ධාව ඇති කිරීම පහසු බැවින් එය දඩමීමා කරගත් ශ්‍රමණ වේශධාරීහු බෞද්ධයන් මුලා කරති. අද බණ කියන්නේ පැකේජ වලටය. අද බෞද්ධයාට බණක් අහන්නට නම් නමගිය හාමුදුරු කෙනෙක් අවශ්‍යය. නැත්තං ඒ බණ මෙලෝරහක් නැත. නම ගිය හාමුදුරුවරු බණ අවසානයේ තමන්ගේ පොත්පත්ද අලෙවි කරති. අහවල් ආගමෙන් බලෙන් ධර්ම ප්‍රචාරයට පොත් පත් නිකම් බෙදන්නේයයි කුපිත වී බෙරිහන් දෙන ඇතැමුන්ට මේවා හොදය. අනෙකාට ඇගිල්ල දිගුකරනවා විනා බෞද්ධයාගේ බෞද්ධකම ගැන ඔවුන්ට වගක් නැත. අමූලිකා ශ්‍රද්ධාවෙන් මුසපත් වූවන්ට ඊළගට පොවන්නේ ජාතිකවාදය නම්වූ මාහැගි ඖෂධයයි. අන් ආගම් හෙළා දකින්නට හා ගරහන්නට විනා විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට ඔවුන්ට මග පෙනෙන්නේ නැත. බුදුන් වහන්සේ වෙත පැවිද්ද ලබාගන්නට පැමිණි ඇතැමුන්ට උන්වහන්සේ දේශනා කලේ තවත් වරක් සිතා බලන ලෙසයි, එමෙන්ම පැවිදි වුවත් තමන්ගේ පෙර ගුරුවරුන්ට ගරුකරන ලෙසයි. බුදුන් වහන්සේ නිගන්ඨනාතපුත්තයා නිරුවතින් යන්නේයැයි බෙරිහන් දුන්නේ නැත, අජිත කේසකම්බිලියා මිථයා දෘෂ්ටිකයෙකැයි බෙරිහන් දුන්නේ නැත. ආලවක දමනය කරන්නට ඔහුගේ ගුහාවට වැඩමවා අඩි හැප්පුවේද නැත. නමුත් වැරදි මගට ගිය බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන්ද නිසි මගට ගෙන සත්‍යය ඔවුන්ටම අවබෝධ කරවන්නට උපක්‍රමශීලීව කටයුතු කළහ.
ආකාරවතී ශ්‍රද්ධාව යනු කර්ම පල විපාක අවබෝධ කරගෙන කටයුතු කිරීමයි. රුපියල් ලක්ෂයක් වියදම් කර අමූලිකා ශ්‍රද්ධාවෙන් සිදුකරන්නා වූ කටයුත්තකට වඩා රුපියලක් වියදම් කර ආකාරවතී ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම ඵල ගෙන දෙයි. බුදුරජාණන් වහන්සේ ‘සෝතානුධත’ සූත‍්‍රයේ විස්තර කලේ ආකාරවතී ශ්‍රද්ධාවට පත් පුද්ගලයා ධර්මය කෙරෙහි බැදී නිවන් මගට පිවිසෙන ආකාරයයි. එබැවින් අප සිදුකරන සෑම කර්මයක්ම ආකාරවතී ශ්‍රද්ධාවෙන් සිදු කිරීමට උත්සහ ගත යුතුය. අඩු තරමේ එසේ කිරීමට උත්සහ ගැනීමට මම ඔබට ආරාධනා කරමි.
නම් ප්‍රසිද්ධ නොවූවත් ආර්ය මාර්ගය දේශනා කරන යතිවරු අප සමාජයේ තවත් සිටිති. නිහඩව සමාජයට සෙත සදනා යතිවරුද දැකීමට අපි තවමත් වාසනාවන්ත වෙමු. ආකාරවතී ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නෝද ඇතැම් විට මාර්ග ඵල ලාභියෝද අප අතරම සිටිති. නිසි ලෙස ඔවුන් හදුනාගැනීමට බෞද්ධ දර්ශනය අපට මග පෙන්වා ඇත. නමුත්
උප්පැන්නයේ සිංහල බෞද්ධයැයි සටහන් වූ පලියට ඔබ බෞද්ධයෙකු නොවන්නා සේම සිවුරක් පටලාගත් පමණින් කිසිවෙකු ගරු කටයුතු ස්වාමින් වහන්සේ කෙනෙක් නොවෙති. වෙසක් කලාප තුල මත්පැන් බොන්නෝ අද සිටිති. වෙසක් දිනට බොන්නට වේලාසන මත්පැන් ගබඩා කරගන්නෝද සිටිති. පිංකම්වලට මුවාවී මුදල් රැස්කරන්නෝද සිටිති. වෙසක් දිනයේ පවා කාමයෙහි වරදවා හැසිරෙන්නෝද සිටිති. අතීතයේ අප තුල වූ හික්මීම නැති වී ගොසිනි. සිවුරට මුවාවී වීරයන් වන්නන් සේම සිවුරට මුවාවී කාමසුඛල්ලිකානු යෝගයේ යෙදෙන්නෝද අද බහුල වෙති. කෝටි ගණන් වියදම්කර වාහන ගන්නා ශ්‍රමණ වේශධාරීහු පන්සලේ පුංචි වැඩකටත් දායකයන්ගෙන් මුදල් එකතු කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමි. අටසිල් සමාදන් වන විට අප නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩප විභූසනට්ඨානා වේරමණී යයි සමාදන් වෙමු. එසේවීනම් ස්වාමීන් වහන්සේලාට අති නවීන ටච් ෆෝන් කුමකටදැයි මම ප්‍රශ්න කරමි. සම්බුදු සසුනේ පැවිදි වූවෝ සියල්ලෝම ආර්ය සංඝ ලෙස හැදින්විය යුතුයයි බුදුන් වහන්සේ වදාළේ නම් නිකාය භේදයක් කුමකටදැයි මම ප්‍රශ්න කරමි. වැටත් නියරත් ගොයම් කානම් ඒ අමාරුව කාට කියන්නේදැයි මම ඔබෙන් අසමි. මග පෙන්වන්නෝ වැරදි මග යයිනම් අනුගාමිකයෝ හරිමග යන්නේ කෙසේදැයි මම ප්‍රශ්න කරමි. බුදු දහමේ හරය නොදැන අන්ධ භක්තියෙන් සරුව පිත්තල බුදුදහමක් නිර්මාණය කර ඒ පස්සේ යන්නන් සිටිද්දී බුදු දහම රකින්නේ කෙසේදැයි මම ඔබෙන් අසමි. ඉදින් සහෘද බෞද්ධයිනි ප්‍රීති වෙසක් තිබේදැයි මම මගෙන්ම ප්‍රශ්න කරමි.

-විදුරංග විලෝචන ගුණසේකර-

බෞද්ධයිනි , එන්න , ඇවිත් විමසා බලන්න!



ඉහත ඡායාරූප දෙක කෙරෙහි ඔබේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. මුස්ලිම් ජාතිකයන් පිරිසක් වෙසක් කූඩු රැගෙන සිටින පළමු ඡායාරූපය සිංහල බෞද්ධයා නම් ෆේස්බුක් පිටුව පළකර තිබුණේ මෙසේ සදහන් කරමිනි.

"රාමසාන් එකට කිරි අම්මලාගේ බෙලි කපලා ඒ අසරණයින් ගැහි ගැහී ලේ පෙරන හැටි බලා ඉඳලා අන්තිමට ඒ කිරි අම්මලාගේ ම මස් ටික උයාගෙන කන එක දැන් සමහර මුස්ලීමුන්ට එපා වෙලා. මෙන්න ඔවුන්ගෙන් පිරිසක් මේ වෙසක් එකේ බෞද්ධ කටයුතු වල නියැලෙනවා." 

දෙවැන්න ඕපදූප අඩවියක් යැයි නිතර බැනුම් අසන ගොසිප් ලංකාවලින් උපුටාගෙන ෆේස්බුක් අම්බලම නම් පිටුවක් පළ කල ඡායාරූපයකි.
මේවාය තිබූ කමෙන්ටද බොහෝය.

මුසල්මානුවන් බෞද්ධයන් සමග සහයෝගයෙන් වැඩකරන්නේ 
1. ඇතැමුන් කියන විදියට කපටිකමටය
2. ඇතැමුන් කියන විදියට අල්ලාගේ දහමට පයින් ගැසීමෙන් අනතුරුවය

මම ඒ පිළිබද කිසිවක් නොකියමි. අපි කුඩාකාලයේ නත්තල් සීයා එනතුරු බලා සිටියේ, ගව ලෙන් හැදුවේ, නත්තල් ගස් හැදුවේ බුදු දහම අතහැර එයට පයින් ගසාදැයි මම ඔබෙන් අසමි. එය ඔබේ කපටිකමයයි කිසිවෙක් චෝදනා කළේනම්, නොඑසේනම් මොකෝ බුද්ධාගම අතෑරියද යයි කෙනෙක් විමසුවේනම් ඔබට කුමන හැගීමක් ඇතිවේදැයි මම විමසමි.
ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස පවතී. ආගමික සහජීවනය ගැන බුදු දහමේ දේශනා කරද්දී බෞද්ධයා ලෙස නාමික මේ පිටුව සටහන් කර ඇති දේ නිවැරදිදැයි මම විමසමි. වෙසක් පොහෝදිනයේදී බෞද්ධයා තුලත් අන්‍යාගමිකයන් තුලත් වෛරී සිතිවිලි ඇති කිරීමේ ඔබේ පරමාර්ථය ඔබේ පිටුවේ නමට ගැලපෙන්නේදැයි මම විමසමි.
සුළුතරයක් වන අන්තවාදීන්ගේ ගොඩට බහුතරයක් සාමාන්‍ය මුස්ලිම් මිනිසුන් දමාගැනීමෙන් ඔබ කුමක් බලාපොරොත්තු වන්නේද මම විමසමි. බුදුන් මේ දහම වදාලේ තේරුම්ගත හැකිවුන්ට පමණි. ඔබට එහි හරය නොවැටහේනම් කරුනාකර පිටුවේ නම වෙනස්කර ඕනෑ දෙයක් පළ කරගත්තාට කම් නැත. මන්දයත් ඔබ පළ කරන ඇතැම් දේ සැබෑ බෞද්ධකමට සැබවින්ම නිගා කරන්නක් මෙන්ම අන්‍යාගමිකයන් තුල බෞද්ධයා කෙරෙහි වෛරයක් ඉපදවීමටද හේතු වේ.

සහෘද බෞද්ධයිනි යමකට කමෙන්ට් කිරීමට පෙර සිතා බලන්න. වෙනත් ආගම්වල ඉගැන්වීම් විවේචනය කිරීමට හෝ ගැරහීමට බුදුන් වහන්සේ අපට උගන්වා නැත. එනිසා මිසදිටු අන්‍යාගමිකයන් අපට අපහාස කලද ඔබේ බෞද්ධකම බෞද්ධයාගේ උතුම් තත්වය රැක ගැනීමට කටයුතු කරන්න.

නහී වේරේන වේරානි - සම්මන්තීච කුදාචනං
අවේරේනච සම්මන්තී - ඒස ධම්මෝ සනන්තනෝ

මෙලොව කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසංසිඳේ. අවෛරයෙන්ම වෛරය සංසි‍ඳේ. මෙය පෙර සිට පැවතෙන සනාතන දහමකි.

බුදුන් වහන්සේ මෙලෙසින් වදාලහ.
ඔබ ගැටුමට නොගොස් කවර තැනක හෝ ධර්මානුකූලව යමක් පැහැදිලි කරන්නේනම් බුද්ධිමත් අන්‍යාගමිකයන් වුවද ඔබට කන්දෙනු ඇත. මෙය මම ප්‍රාෙයා්ගිකව අත්දැක ඇත්තෙමි. එබැවින් ඔබ ද්වේශයෙන් කමෙන්ට් දැමීමට පෙර සිතා බලන්න. ඇතැම් කමෙන්ට් කියවීමේදී බෞද්ධයින් වශයෙන් එවැනි කමෙන්ට් පළ කිරීම පිළිබද ලැජ්ජාවක් අතිවෙයි. තාර්කික උතුම් දහමක් අදහන මගේ සහෘද බෞද්ධයිනි කරුණාකර බෞද්ධයාගේ ගෞරවය සුරකින්න.
කවර හෝ මාධ්‍යයක පලවන්නක් හුදෙක් ෂෙයා කිරීමට හෝ ඔබේ ඔළුවට දා ගැනීමට පෙර සිහි නුවණින් සිතා බලන්න

බුදුන්වහන්සේ වදාලේ

එන්න , ඇවිත් විමසා බලන්න යනුවෙනි

-විදුරංග ගුණසේකර-