මුල් පිටුව

කෙටිකතා

කවි සහ ගීත

වෙනත් ලිපි

Sunday, May 25, 2014

නොපිරූ පාරමී

 “මෙන්න අපේ පාරමී ගැන කවියක් ලියල“
අනේෂා අක්කා මගේ කවි කොළය අතේ තබාගෙන මොර ගෑවාය. පාරමී මා දෙස බැල්මක් හෙළුවාය. මගේ හද ගැස්ම වේගවත් විය. එහෙත් මම වෙනසක් නොපෙන්වා සිටියෙමි. පාරමී කෙරෙහි මා විශේෂත්වයක් දැක්වූ බව සැබෑවකි. පාරමීද කවි කොළය කියවා බැලුවාය.

පාරමී මට මුලින්ම හමුවන්නේ පුදුමාකාර අහඹුවකිනි. මගේ මතකය වසර තුනක් ආපස්සට දිවගියේය.

“ඒයි උඹව හොයන්න ඊයෙ සාහිත්‍ය සංගමෙන් ආව“ පන්තියේ මිතුරෙක් මා අමතා පැවසුවේ උදෑසන රැස්විම අතරේදිය.

“ඒ මොකටද බං“

“මං කොහොමද දන්නෙ ගිහින් බලපන්“

රැස්වීම අවසන් වූ සැණින් මා දිව ගියේ පන්තියට නොව ඉන්ද්‍රා මැඩම් හමුවීමටයි. සිංහල සාහිත්‍ය සංගමයේ සභාපතිනිය වූ ඇය මා දුටු විගසම ඇගට කඩා පැන්නාය.

“කොහෙද ළමයෝ ඊයෙ ගියෙ? අධ්‍යාපන අමාත්‍යංශෙ  සාහිත්‍ය වැඩමුළුවකට යවන්නයි හෙව්වෙ. අන්තිමේ මං ඕලෙවල් පන්තියෙ ළමයෙකුයි ආට් එකේ ළමයෙකුයි යැව්ව. අද ඒකෙ දෙවෙනි දවස. ආට් එකේ ළමය නාවොත් මං ඔයාට කතා කරන්නම්. අමාත්‍යංශෙ වැඩවලට හරිහමන් මනුස්සයෙක් යවන්න එපැයි“

මම ආපසු හැරී ගියේ මද පසුතැවිල්ලකිනි. මට වැඩි වේලා පන්තියේ රැදී සිටිමට සිදු නොවිණ. ඉන්ද්‍රා මැඩම් සදහන් කල ඕ ලෙවල් මල්ලි මා සොයා ආවේය.

“අයියෙ අර වැඩ මුළුවට යංද?“

අපි නියමිත ස්ථානයට යන විට අන් සියල්ලෝ පැමිණ සිටියහ. ඉතිරිව තිබ්බේ පසුපසම කෙළවරේ පුටු දෙකක් සහ ඉදිරිපසම පුටු දෙකක් පමණි.

“අපේ කොල්ලො කවද්ද බං පස්සට ගියෙ යමං ඉස්සරහටම“ මම සගයාට ඇගිල්ලෙන් ඇන්නෙමි. හරිම තැන වාඩිවී ඇති බව මට වැටහුණේ විනාඩි කිහිපයක් ගතවෙද්දීය. මට ඉදිරියෙන් සිටියේ හිම මෙන් සුදු කෙල්ලකි. හාවෙක් වැනි පුෂ්ටිමත් මුහුණකින් හෙබි ඇය සිය නිදිබර දෑසින් දේශකයා දෙස බලා සිටියාය. විටෙන් විට ප්‍රශ්නයක් දෙකක් ඇසුවාය. කෙල්ලෙකුට දෙවෙනි වීම මදිකමකි. දේශකයා ඇසූ ප්‍රශ්නයකට දෙකකට වියත් වදනින් පිළිතුරු දිමට මම සමත් වූයේ ඇයට කරට කර සිටිමිනි. ඇගේ සම්පූර්ණ අවධානය දේශනය වෙත වුවත් මගේ අවධානය දෙකට බෙදී ගියේය.

විවේකයෙන් පසු අපේ නම් සහ ලිපිනයන් ලේඛනයක සටහන් තැබිය යුතුවිය. පෝලිමේ ඉදිරියෙන් සිටියද, මම පරාර්ථකාමි වීමි. ඇයට සටහන් තැබීමට ඉඩ දුන් මම පෝළිමේ පසු බැස්සෙමි. මගේ වාරයද එළඹියේය.

“පාරමී සඳකැන්, වාව් ලස්සන නමක්“

විවේකයෙන් පසුවද ඇගේ අවධානය දේශනය වෙතම විය. වැඩමුළුවෙන් පසු අපි නිවෙස් බලා ගියෙමු. මගේ මතකයෙන් ක්‍රමයෙන් ඉවත් වූ ඇය සම්පුර්ණයෙන් මැකී නොගියාය. තදින් ඇදුනු පැන්සල් ඉරක් මකනයකින් මැකුවත් එහි සලකුණු ඉතිරිවන්නා සේ ඇය මගේ මතකයේ රැදී සිටියාය. ලාවට ඉතිරි වූ සලකුණු අලුත් කලේ සචිනි විසින්ය. ඒ මීට මාස දෙකකට ඉහතදීය.
නිවේදන කටයුතු පුහුණු වෙමින් සිටින අතර තුර ඈ මා ඇමතුවාය.

“අයියලගේ මීඩියා කෝස් එකේ අපේ ඉස්කෝලෙ අක්ක කෙනෙක් ඉන්නව“

“හැබෑට? කව්ද? මොකද්ද නම“

“පාරමී“

මගේ සිතෙහි එක්වරම අකුණක් කෙටුවාක් බදු ආලෝකයක් ඇතිවී නැතිවී ගියේය.

“පා...ර..මී ම්ම්ම්.... පාරමී සදකැන්ද?“

“අහ් ඔව් අයිය දන්නවද?“

දෛවෝපගත සිදුවීම් ගැන අසා තිබුණද අත්විඳ නොතිබුණු මම දැන් එය අත්විඳීමට සූදානම් උනෙමි. සතිපතා හින්දි චිත්‍රපට එකක් නෑර රූපවාහිනියෙන් නැරඹූ මම සංසාරගත බැඳීම් තරයේ විශ්වාස කළෙමි. ආශ්චර්යයකි!

“අපොයි මොකද මම නොදන්නෙ?“

“අහ් මං අක්කට කියන්නම්“

“වැඩක් නෑ“

“ඇයි“ ඇය ඇස් උඩ හිදුවාගත්තාය.

“මං එයාව දන්නව උනාට එයා මාව දන්නෙ නෑ“

“අපෝ එයා ඔයාව දන්නව ඔයා ප්‍රසිද්ධ චරිතයක්නෙ“

හීන් ආඩම්බරයක් මගෙ හිතට ඇතුළු විය. නිකංම ඉන්නවට වඩා හීන බලන්න කෙල්ලෙක් හිතේ ඉන්න එක හොඳ බව මම විශ්වාස කළෙමි. ඒකෙත් අමුතු ගතියක් තිබේ. කෙල්ල අකමැති වුවොත් කළ යුතුව ඇත්තේ සුළු දෙයකි. ඒ
“ඒකත් ඉවරයි බං“ යනුවෙන් පූර්ණයාට එස් එම් එස් එකක් යැවිම පමණි.
මින් ඉහත කෙල්ලෙකු පිළිබද වූ මගේ සංසාරගත, පුජනීය, ඒකපාර්ශ්වික ප්‍රේමය කෙළවර වූයේ ඇය මට එළුවෙකු සේ හීලෑ වීමත් සමගිනි. පසු කලෙක ඇය මට ආදරය ප්‍රකාශ කලත් එය ප්‍රතික්ෂේප කිරීමට තරම් හයියක් මට තිබිණ. මෙනිසා ප්‍රේම පරාජයන් සම සිතින් විද ගැනිමට මට හැකිවිය. ගිණි පෙනෙල්ලෙන් බැට කෑ නිසා මා කණා මැදිරියන්ට පෙම් කලේ උන් මට පෙම් කරන බව ප්‍රත්‍යක්ෂ වුවොත් පමණි. එහෙත් හීන බැලිමට මේ කිසිවක් අදාල නැත. සචිනි තවත් දින දෙක තුනක් පාරමී ගැන මට විස්තර කීවාය. පසුව හෙළි වූයේ ඇය අපේ මීඩියා කෝස් එකේ අපට පෙර පාඨමාලාවේ සිසුවියක් බවයි.

අපි වළක් හෑරුවොත් ඒකෙ ගෙම්බො පොකුරු පිටින් බව මට ප්‍රත්‍යක්ෂ විය. හැබැයි දෙන දෙයියො පන්න පන්න දෙන වෙලාවලුත් නැතුවාම නොවේ. එහෙම වේලාවක මිඩියා ක්ලාස් එකේ කෙළවරකින් දැකලා පුරුදු රුවක් මතුවිය.

“හුටා, පාරමී...“

ඇය පැමිණ සිටියේ මීළග සතියේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයක් සදහා අපේ සර්ගෙන් උපදෙස් පතන්නටය. එය ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක නිවේදකයන් තේරීම සදහා වූ සම්මුඛ පරීක්ෂණයකි. ඇගේ කතාව ඉවරවනතුරු මම ඉවසිලිවන්ත වීමි.

“එක්ස් කියුස් මී, ඔයා පාරමී නේද“

“ඔව්“ විපිලිසර දෙනෙතකින් ඈ මදෙස බැලුවාය

“ඔයා මාව දන්නෙ නෑ“ මම හඩ අවදි කළෙමි

“ඔයා නේද විදුරංග“

“අහ්“

“මට සචිනි කිව්ව. ඔයා කොහොමද මාව දන්නෙ?“

“හා.. ඒක දිග කතාවක් “ මම අතීත මතකය දිග හැරියෙමි.

“ම් ම් මට හරියටම මතක නෑ“

පළමු සංවාදය එතෙකින් නිමා විය. නිවසට යන විට මගේ නමට ලිපියක් ලැබී තිබිණ. ලිපිය විවෘත කළෙමි. සම්මුඛ පරීක්ෂණයකි.
“මළ කෙළියයි. පොල් ගහේ දෙල් කිව්වලු! ඇයි යකෝ පාරමී යන්නෙත් මේකටමනෙ“
සම්මුඛ පරීක්ෂණයදා ඇය ඔසරියකින් සැරසී සිටියාය. පාසල් කාලයට වඩා උස ගොස් සිටි ඇගේ පුෂ්ටිමත් බව මඳක් අඩුවී වඩාත් හැඩවී සිටියාය. නොවනස්ව තිබුනේ ඇගේ නිදිබර දෙනෙත පමණි. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් පසු අපි කතා කරමින් පාර දිගේ ඇදුනෙමු.

“ඉන්ටව් එක ගැන මොනවහරි දැනගත්තොත් ඔයා මට කියනවද?“ ඈ විමසුවාය

දෙන දෙයියො උඩ පැන පැන දෙනවනෙ
“කොහොමද ඉතින් කියන්නෙ?“

“ඇයි ළමයො කෝල් එකක් දෙන්නකො“

“ඔව් ඉතින්, ඒකට මං නම්බර් එක දන්නවයැ“

“අහ්, මට කියන්න ඔයාගෙ නම්බර් එක. මං මිස් එකක් දෙන්නම්“

“හරි. හැබැයි මගෙ ෆෝන් එක ඕෆ් වෙලා තියෙන්නෙ දැන්, ඔයා තව පැයකින් විතර මිස් එකක් දෙන්න“

පැය කිහිපයක්ම ගතවිය. මිස් කෝල් එක එන පාටක් නැත. බලාපොරොත්තු සුන් කරගත් මම වැඩේ අතහැර දැමුවෙමි. හැන්දැ යාමය වන විට දුරකතනය වරක් නාද වී නිහඩ විය. මිස් කෝල් එකනම් ආවේය. ඇත්තටම මේ පාරමීමද? මමද පිළිතුරු රින් කට් එකක් දුනිමි. කිසිදු හැල හොල්මනක් නැත. මේ කවුරුන්දැයි සැක හැර දැනගත යුතුය. ඒ අජිත් බණ්ඩාර සුපිරි තරුවක් වූ අවදියයි. මං මෙහෙම කෙටුවෙමි.

“සීත හැන්දෑකරේ මුදු සිසිල දැනෙනා වෙලේ
නුහුරු අංකයකින් කවුද මට රින් කලේ
අද උදේ වරුවේ (අදාල නාලිකාවේ නම) දී
මෙමට මුණ ගැසුණු පාරමීමද මේ“

පැයක් ගතවිය. කිසිම හැල හොල්මනක් නැත. මල නෝන්ඩිය වෙන එකෙක්ටද දන්නෑ මැසේජ් කරල තියෙන්නෙ. දැන් ඉතින් නෝන්ඩි වෙලා ඉවරනෙ කොහොමත් එකයි. තව එකක් යවනව.

“ඉගිලෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නෙ මට රින් කට් එකක්
මං එව්වෙ එස් එම් එස් එකක්
ඇයි නැත්තෙ තව මට පිළිතුරක්“

ඒ පාර වැඩේ පත්තු විය.

“ඔව් ඔව් මං පාරමී තමයි. ඔයානම් මහ පිස්සු ළමයෙක්“

 එහෙම ඇරඹුණු එස් එම් එස් සංවාදය දිගට ඇදුනි. දිනකට එස් එම් එස් කිහිපයක් හුවමාරු විය. මම විවිධ විලම්බීත දෙසා බැවෙමි. ඇය ඇගේ මැහුම් ගෙතුම් ගැන මට කීවාය. මගේ නුවණක්කාර පිළිතුරු හමුවේ ඇය මෙසේ කිවාය.
“අපෝ ඔයාට මැහුම් ගැන කියන එක එස්කිමෝලට පොල්ගස් නගින්න උගන්නනව වගේනෙ“
එදා පටන් මා ඇයට එස්කිමෝ විය. ඇය මට පාරෝ විය.

දිනක් මා ඇයට එස් එම් එස් කිහිපයක් යැවුවද පිළිතුරක් නොවීය.

“දෑස රිදෙනවා ෆෝන් එක දිහා බලා ඉදලා“

මම කෙටුවෙමි. ලැබුණු පිළිතුරින් මගේ දෑස් නළලේ රැදුනි.

“අයියෝ එස්කිමෝ ඔයා මොකටද ෆෝන් එක දිහා බලා ඉන්නෙ මං මගේ බෝයි මැසේජ් කරනකල්වත් බලන් ඉන්නෙ නැනෙ“

විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරිය. ඇදෙනකොට සුවිප් එක සුපිරි තෑග්ගම ඇදෙන්නේය. හැබැයි ඉතින් හින්දි චිත්‍රපට දහස් ගණනක අත්දැකිම් ඇති බැවින් මරණය පෙනි පෙනී වුවද පරදින්නට මම ලෑස්ති නැත.

“හැබෑටම? ෂිහ්, මටත් කෙල්ලෙක් හිටිය පාරො. ඒත් එයා මට නැතිවුනා“ මම කීමි

“ඇත්තටම ? කවුද?“

“ඔයා හොදටම දන්නව එයාව“

“කවුද?“

“එයාව බලෙන්ම බන්දලා දුන්නනෙ. මොනව කරන්නද?“

“මොනව,හරි පවු වැඩක්නෙ. මාත් දන්න කෙනෙක්? කවුද එස්කිමෝ, කියන්නකො?“

“ඔයා දන්න කෙනෙක් කල්පනා කරල බලන්නකො“

“ම් ම් ම් හු  මට මතක් වෙන්නෙ නෑ“

“හෙහ් හේ අයිෂ්වර්යා හලෝ එයාව බෑ කියද්දි අර අභිෂේක්ට බැන්දුවනෙ“

“ඔයානම් මහ පිස්සෙක් එස්කිමෝ. මං හිතුවෙ ඇත්තටම කියල“

“හරි හරි මං මගෙ කතාව කිව්වනෙ. දැන් කියන්නකො ඔයාගෙ බෝයි ගැන, ජෝන් ඒබ්‍රහම් නෙවිනෙ?“

“නෑ නෑ ලබන සතියෙ මුණගස්සන්නම්කො. ඒත් අපිට හරි ප්‍රශ්න එස්කිමෝ..“

“ඒ මොකෝ ඒ?“

මල ජූලියකි. මෙන්න ඒ පාර කෝල් කරනවා. මම වෙලාව බැලුවෙමි. දොළහට දහයයි. ආන්සර් කරනවද නැද්ද? මම කල්පනා කළෙමි.එකත් එකට මෙයාගෙ කොල්ලත් මගෙ අයිශ් වගේ තමා, ඒක කියන්න වෙන්නැති කතා කරන්නෙ. වෙන දෙයක් වෙද්දෙන්

“හලෝ“

“හලෝ“ එහා පැත්තෙන් රහසින් මුමුණණ හඩකි. “මං ගෙදරට හොරෙන් කතා කරන්නෙ, ඒකයි රහසින් කතා කරන්නෙ“

දැන්නම් ෆිල්ම් එකේ හොදම හරිය

“ඔව් කියන්න“ මමද ඒ ස්වරයෙන්ම පිළිතුරු දුනිමි. මට දැන් එලෝ මෙලෝ නැත.

“ඔයා මොකද කොදුරන්නෙ, ඔයාට කතා කරන්න පුලුවන්නෙ සද්දෙන්“

“අහ් ඔව්, ඇයි ඉතින් එස් එම් එස් කලානම් ඉවරනෙ“

“නෑ එස්කිමෝ මට ඔයාට මෙහෙම කියන එක ලේසි“

පන්දුව කඩුල්ල තුලට දග කැවෙන බව මම සිතා සිටියද එය කඩුල්ලෙන් ඉවතට දෝලනය විය. ඇය කුෂාන් පිළිබද සියලු දෑ මා සමගින් පැවසුවාය. ඉතිරිය වාක්‍ය කිහිපයකින් විස්තර කල හැක. චිත්‍රපට අත්දැකිම් අනුව ඊළගට මා කළ යුතු වන්නේ කොල්ලා හොද එකෙක්දැයි විස්තර සොයාගැනිමයි. එය අපහසු නොවිය. මුණ ගැසුණු පසු කුෂාන් හා මම හොඳ මිතුරන් වීමු. කුෂාන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “සිරාවටම“ හොද කොල්ලෙක් විය. එවරනම් ඉරි නොතබා හොදම මකනයකින් සියල්ල මකා දැමිමට මම තිරණය කළෙමි. ඉතිරි වූ මකන කුඩු මකා දැමීමට පද හතරක් ගොනු කළෙමි. මීඩියා කෝස් එකේ අවසන් විභාගයේදී අපගේ සාහිත්‍ය නිර්මාණද භාර ගැණින. මා කලින් සූදානම් කර තිබූ නිර්මාණ අතරට මේ පද හතර ගොනු කල නිර්මාණයද ඇතුලත් විය.

නොපිරූ පාරමී

පුරස‍ඳ යයි සිතූ සඳ
අමාවක වූ සඳ
ගණඳුරට පෙම් බදින
පුංචි කණමැදිරියාද මම

පාරමී අතින් ගත් කවි කොළයට කුෂාන්ද නෙත් හෙලීය. මම ඔවුන් දෙදෙනා දෙසම නෙත් හෙලීමි.

“මට පරක්කු වෙනව බං. අද හවස රෙකෝඩින් මං ගියා එහෙනම්“ මම කුෂාන්ගේ පිටට තට්ටුවක් දැමුවෙමි.

“අපි ගියා පාරෝ“ මම එතනින් ඉවත් විමි.

“ඌ පට්ට හිත හොද කොල්ලෙක්“ කුෂාන් මුමුණනු මට යන්තම් ඇසුණි.

චිත්‍රපටියේ “දි එන්ඩ්“ වැටීමට කලින් කළ යුතු යමක් ඉතිරිව තිබිණ. අවසන් එස් එම් එස් එක කෙටිමට පටන් ගතිමි.

“ඒකත් ඉවරයි බං“


-විදුරංග ගුණසේකර-
(මගේ නම හැරෙන්නට සියලු නම් ගම් මනංකල්පිතය)



1 comment: