මුල් පිටුව

කෙටිකතා

කවි සහ ගීත

වෙනත් ලිපි

Monday, May 19, 2014

බාලයාගේ සිහිනය

හාත්පස විහිදී පැවතියේ ඝන අන්ධකාරයයි. දහවල ගිනියම මැකී යද්දී කෙමෙන් කෙමෙන් දැඩි ශීතලක් ඔහුගේ කුඩා සිරුර වෙලා ගත්තේය. එක් අතෙකින් ඔහු වික්ෂිප්තව සිටියේය. ඔහු දැන සිටියේ කිසියම් නපුරු මිනිසුන් පිරිසක් ඔහුගේ පවුලේ අය ලුහුබදින බව පමණි. කැළෑ මැදින් ගමන් කල මේ ගමන ඔහුට එක්තරා විනෝදයක්ද ගෙනදුනි. එහෙත් කිසියම් අනියත බියක් විටින් විට ඔහුගේ සිතෙහි ඇතිවී නැතිවී ගියේ අහසේ දිස්වන උල්කාපාතයක එළියක් මෙනි. "අම්මා අන්න" ඔහු මවගේ අතින් අල්ලා අහස දෙසට අත දිගු කළේය. එය නිසැකවම උල්කා වරුසාවක් නොව මල් වෙඩි සංදර්ශනයක් මෙන් විය. ඔහු එයට ප්‍රිය කළේද අප්‍රිය කළේද යන්න ඔහුටම සිතාගත නොහැකි විය. කුඩාම අවදියේ මේ දර්ශන ඔහුට නුහුරු වුවද මෑතක සිට ඔහු මේ දර්ශන වලට හුරු වූයේය. මල් වෙඩි සමග නැගෙන පිපුරුම් හඩ මුලදී ඔහු තිගැස්සුවද පසුව එය කම්මලේ බල්ලාට මෙන් විය. ඔහුගේ පියා සමග පැවති කෝන්තරයක් පිරිමසා ගැනීමට පැමිණෙන මේ දාමරිකයන්ගෙන් සැගවී පළා යාම ඔවුන්ගේ අරමුණ විය. ජීවිතයේ අනියත බව පිළිබද හැගීමක් නොතිබුණෙන් හේ සිහින මැවීය. බෙන් ටෙන් ඔරලෝසුව තිබුණේනම් සතුරන් සුන්නද්ධූලි කර පියා ගලවා ගැනීමට හැකිව තිබූ බව ඔහු කල්පනා කළේය. ඇතැම් විට තව මොහොතකින් මෙතැනට පැමිණෙන පිටසක්වලයන් තමන්ට උදව් වනු ඇතැයිද ඔහු සිහින මැවීය. සුපර් මෑන් හෝ අයන් මෑන් වුවද පැමිණෙන්නට ඉඩ ඇතැයි ඔහු දිගටම කල්පනා කළේය. සෑම විටම නපුර පරාජය වන බව ඔහු තරයේ විශ්වාස කළේය. ඔහු බලාපොරොත්තු සහගත විය. පවුලේ අතබාලයා වූ ඔහුට සැමගේ ආදරය නොමදව හිමිවිය. ඝන උඩු රැවුලින් අනෙකුන්ට රෞද්‍රයයි සිතුණු සිය පියාගේ මුහුණ ඔහුට ආදරබර විය. ප්‍රතාපවත් පුද්ගලයෙකු වූ පියා ඔහුට වීරයෙක්ම විය. එහෙත් අද ඔහුගේ මුහුණේ බියක සේයාවක් රැදී ඇතැයි ඔහුට සිතිණ. එසේ විය නොහැක එය තමාගේ හිතලුවක්ම බව ඔහු කල්පනා කළේය. ඔහුගේ දැහැන බිදී ගියේ මව ඔහුව තරයේ සිප වැළද ගැනීමත් සමගය. ඇගේ බියමුසු දෙනෙතේ කදුලු රැදී තිබිණ. දෙපිරිසක් ලෙස වෙන්ව ගමන් කිරීම වඩා ආරක්ෂාකාරී බව පියාගේ තීරණය විය. එහෙයින් මව සහ සොයුරිය ඔහුගෙන් වෙන්ව යාමට සූදානමින් සිටියහ. සොයුරිය හිස් බැල්මෙන් ඔහු දෙස බලා සිටියා විනා කිසිත් නොකීවාය. ඔහු පියාගේ අතේ එල්ලී ඔහුට තුරුළු වූයේය. එක් අතෙකින් සිය වැඩිමල් සොයුරා මෙයින් ගැලවී සිටීම පිළිබද ඔහු සතුටු විය. ඔහු නිවසින් පිට වූයේ දින දෙකකට පෙරය. හෙට හිරු නැගෙන විට ආරක්ෂිත ස්ථානයකට ගොස් සියල්ලන් සමග සතුටින් සිටිය හැකි බව පියා ඔහුට පැවසීය. අපහසු වන්නේ රැය ගෙවා ගැනීමයි. අන්ධකාරය අන්තරාදායක බව සිය දහස්වරක් රූපවාහිනියේ නැරඹූ කතාවලින් ඔහු ප්‍රත්‍යක්ෂ කරගෙන සිටියේය. අරුණාලෝකය පිළිබද ඔහු සිහින මැවීය. මේ නපුරු සිහිනයෙන් මිදීමට තව ඇත්තේ ටික වෙලාවක් නොවේදැයි කල්පනා කල ඔහු ප්‍රීතියට පත් විය. සිය උපන්දිනයට දුරස්ථ පාලකයක් සහිත දැවැන්ත මෝටර් රථයක් ලැබෙන තුරු සතියක් හමාරක් නොඉවසිල්ලෙන් කල්ගෙවූ තමාට මේ පැය කිහිපය කජ්ජක්දැයි ඔහු කල්පනා කළේය. වෙහෙර ගිලපු එකාට අග්ගලාව කජ්ජක්දැයි කීවාට අග්ගලා ගැන තරම් අවබෝධයක් ඔහුට වෙහෙර පිළිබදව නොවීය. ඔහු කලපනා කලේ තමාගේ උපන්දිනයට ලැබුණු මෝටර් රථය ගැනය. එය තමාගේ කාමරයේ තිබූ කුඩා කැබිනෙට්ටුව තුල හුදකලාවී ඇත. බනී නමින් හැදින්වූ ඔහුගේ සෙල්ලම් හාවාද හුදකලා වී ඇතැයි කල්පනා වූ ඔහුට හැඩුම් ආවේය. එහෙත් තව පැය කිහිපයක් පමණි යන සිතිවිල්ල ඉකිය ඔහුගේ උගුර තුලම සැගවීමට සමත් විය. ගමන නැවතින. කැළයේ වූ දැවැන්ත මුල් රැසකින් සැදුනු බිමකට ඔවුහු පැමිණ සිටියහ. බිම මදක් තෙත් ගතියක් වුවද රැය ගත කිරීමට ඔවුහු එතැන තෝරාගත්තේ ලුහු බදින්නන්ගෙන් සැගවීමට එය වඩා යෝග්‍ය වූ බැවිණි. දැඩි වෙහෙසකට පත්ව සිටි ඔහුට නින්ද සොයායාමට ඇවැසිව නොතිබිණ. පැය කිහිපය පිළිබද සුන්දර සිහින ඒ නින්ද සැරසීය. පියාගේ උණුහුමට තව තවත් ළං වීමට ඔහුට ඇවැසි විය. එහෙත් යළිත් මල් වෙඩි පිපිරෙන හඩින් සහ දැවැන්ත ආලෝකයෙන් සිහින විසරී ගියේය. එවර එය වඩාත් සමීපය දෙකන් බිහිරිව දෙසවන් නිලංකාරව ගියේය. "තාත්තා තාත්තා " එය ආමන්ත්‍රණයකට වඩා විලාපයකට සමීප විය. ඔහුට රැකවල් ලා නොපියා සිටි දෙනෙත් නොවසාම පියා උඩුබැලි අතට බිම වැතිරී සිටියේය. "තාත්තා තාත්තා " ඔහු යළිත් මොරගෑවේ පියවි ලොවත් සිහින ලොවත් අතර විශ්වාසයත් අවිශ්වාසයත් මිශ්‍රිතව ඔහු මොර ගෑවේ පියා පිළිබද පීඩිතව මිරිකුණු හවතින්ද, අපේක්ෂා භංගත්වයේ ශෝකයෙන්ද, අසීමාන්තික බියකින්ද යන්න කිසිවෙකු නොදත්තේය. අවසන ඔහු ඉදිරියට දිවගියේ කිසිවෙකුගේ අණකින්ද නොඑසේනම් ඔහුටම හැගී ගිය නිසාදැයි ඔහු කිසිදින වටහා නොගත්තේය. වැඩිමනත් සිතිවිලි හිතපුරා දිව නොගියේ එක්වරම ඔහුගේ දෙනෙත් ඝනාන්ධකාරයකින් වැසීගිය බැවිනි. ඔහුට නොසිතුණු ඔහු නොදත් එමෙන්ම යලි කිසිදිනෙක ඔහු දැන නොගන්නා කරුණ වූයේ ඔහු මොහොතකට පෙර දුටුවේ සිය සෙනෙහෙබර පියාගේ මළ සිරුර පමණක්ම නොවන බවයි. එය ඔහුගේ පියාගේ මෙන්ම කාලයක් තිස්සේ මිලියන 20ක් මිනිසුන් අපේක්ෂා කල වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළසිරුරද විය.

-විදුරංග විලෝචන ගුණසේකර-

No comments:

Post a Comment