මුල් පිටුව

කෙටිකතා

කවි සහ ගීත

වෙනත් ලිපි

Thursday, May 1, 2014

ජනපති පිල් මාරුව සහ තවත් කථා

ජනාධිපතිතුමා විපක්ෂයට එක්වී තිබේ. මෙහෙම වෙයි කියා මං හීනෙන්වත් සිතුවේ නැත. එපමණක් නොව බොදු බල සේනාවද කණපිට ගැසී තිබේ. ඒත් එය දෙවනුව සලකා බැලිය හැක. ඔන්න වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුවට එකතු උනානම් ඒ හැටි පුදුම වන්නට දෙයක් නැත. ජනාධිපතිතුමා මෙවන් තීරණයක් ගත් බව මම මුලින් විශ්වාස නොකලද අද උදෑසන පුවත්පත් බැලීමේදී වැඩේ ඇත්ත බව මට ප්‍රත්‍යක්ෂ විය. මේ බව හෙඩ්ලයින්වල නොගියේ එක්වරම ජනතාව කලබල වන නිසා විය හැක. හැබැයි මගේ තියුණු ඇසට වැලි ගැසීමට ඔවුන්ට නොහැකි වීම මට මහත් ආඩම්බරයට හේතුවක් වී තිබේ. මන්දයත් මෙය රටේ ජනතාව හෙට අනිද්දා දැනගන්නා විට මේ පිලිබඳ අනාවැකි පලකල මුල්ම තැනැත්තා මා වන බැවිනි. ඇතැම් විට රාජකීය දෛවඥ තනතුර පවා මට හිමි වනු ඇත.


අද උදෑසන පුවත්පත් බලද්දී එක්තරා පුවතක් වෙත මගේ තියුණු ඇස යොමු විය. ආගමික ගැටුම් සංසිඳවීම සඳහා වෙනම පොලිස් ඒකකයක් පිහිටුවීමට ජනාධිපතිතුමා නියෝග කර තිබේ. ජනාධිපතිතුමා සියලු සංවර්ධන කටයුතු පසෙකලා දේශ ද්‍රෝහී බලවේගයන් සමඟ එක් වූ බව තේරුම් ගැනීමට මේ එක වාක්‍යයම ප්‍රමාණවත් විය. වෙනම පොලිස් ඒකකයක් පිහිටුවීමෙන් මෙරට සැලකියයුතු තරම් ආගමික ගැටුම් පවතින බව එතුමා නිල වශයෙන් පිලිගෙන තිබේ.මෙමගින් අපේ රටේ ආගමික නිදහසක් නැතැයි හඬ නගන විජාතික ඊනියා මානව හිමිකම් සංවිධානවලට එතුමා වක්‍රාකාරයෙන් සහය පල කර තිබේ. ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පවත්වන ලද, "රටට එරෙහි විජාතික කුමන්ත්‍රණ" ඩිප්ලෝමා පාඨමාලාවට සහභාගී වී ඇති මට ඔය ටික තේරුම් යාමට තප්පරයක්වත් ගත වූයේ නැත. මේ ඊනියා මානව හිමිකම් සංවිධාන වලට උල්පන්දම් දීම අපේ ප්‍රධාන විපක්ෂයේ විනෝදාංශය බවට පත්ව ඇති බැවින් ජනපතිතුමාටද ඒ හා එක් වන්නට සිදුවීම නොවැලැක්විය හැක්කකි. කෙසේ වෙතත් මේ බව දැනගත්විට රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රමාණ බියකට පත් වනු නොඅනුමානය.මන්දයත් තමා මහත් පරිශ්‍රමයක් දරා රැකගත් විපක්ෂ නායකකම ජනපතිවරයාගේ ආගමනයත් සමඟ අභියෝගයට ලක්වන බැවිනි.
බොදු බල සේනාව මුස්ලිම් අන්තවාදීන් සම්ඟ එක් වූ බව පිලිබඳ පුවත ජනතාවට එතරම් නොදැනෙනු ඇත. ජනපතිවරයාගේ පුවතේ උනුසුමෙන් මෙය යට යෑම වැලැක්වීමට සක්කරයාගේ පුතා වයිමාටවත් බැරිය. ඇතැම් විට බොදුබල සේනාවේ හිමිවරු මේ බව දිවැසින් දැක නිසි වේලාවට තමන්ගේ තීරණය ගත්තාද විය හැක. මෙතෙක් කල් වටරැක හිමියන් පස්සේ පැන්නූ බොදු බල සේනාව මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ ඒ නාටකය නවතා ඒ පිලිබඳ කටයුතු කිරීම පොලීසියට භාරදී ඇති බවයි. ඒ ප්‍රකාශයෙන්ම මට වැටහී ගියේ මෙතෙක් කලක් බොදු බල සේනාව බෞද්ධයන් රවටා ඇති බව‍යි. මන්දයත් ඔවුන් විසින් නාටකයක් රඟ දැක්වූ බව ඔවුන්ම පිලිගෙන තිබේ. අනිත් අතට ඔවුන් මුස්ලිම් අන්තවාදීන් සමඟ එක්වී තිබේ. එදා මත්තල ගුවන් තොටුපලේදී, විපතේදී නොසැලෙනසුලු බව සහ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම ගැන ලොවටම අගනා පාඩමක් ඉගැන්වූ ශ්‍රී ලංකා පොලීසියට මේ කටයුතු භාර දීමම එය සනාථ කරනවා නොවේද? රටට මෙතෙක් හෙලි නොකල ඒ සත්‍යයද ලඟදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙලිදරව් කරනු ඇත.රාජකාරිය දේවකාරියටත් වඩා ඉහලින් සැලකූ ඒ නිලධාරීහු බෙල්ල උලුක් වන තුරු උඩ බලාගෙන සිට ඇත්තේ දේශ ද්‍රෝහී මැකෝ ගිරවුන් සෙවීමට බව විශ්වාස කටයුතු මාර්ගයකින් මට ආරංචි විය.
-විදුරංග ගුණසේකර-


No comments:

Post a Comment