මුල් පිටුව

කෙටිකතා

කවි සහ ගීත

වෙනත් ලිපි

Thursday, May 29, 2014

ආදරණීය වාඩුව

(ජීවිතයේ වසර කිහිපයක් මා හෙම්බත් කල සිදුවීමක් සාරාංශගත කළෙමි. මෙය සුඛාන්තයක්ද ශෝඛාන්තයක්ද යන්න තීරණය කිරීම ඔබටම බාර කරමි. මගේ පෝස්ට් කියවා මට දිරි දෙන සැමට ස්තුතියි.)

බත් මුලේ තිබූ 12 වෙනි කරපිංචා කොළයද මම ඉවත් කළෙමි. කැන්ටිමේ පිටිපස්සේකරපිංචා ගහක් හැදිලද කොහෙද මෙච්චර කරපිංචා දාන්නෙ. මම ඔරලෝසුව දෙස බැලීමි.

“තව විනාඩි 15ක් තියනව“ මස් කටුව සූප්පන ගමන් මම මටම කියා ගත්තෙමි.

ටිටි ටිං ටිං ටිටි ටිං ටිං ටිටි ටිං ටිං.... ටිං
හපොයි කන වෙලාවටම තමයි හැම එකාටම මාව මතක් වෙන්නෙ. මොකාද මේ? මම වම් අතින් දුරකතනය ගත්තෙමි.

“බුදු සරණ නම්බර් එකක්“

බුදුසරණ පත්තරේ ගහන්නෙ සිමිත පිටපත් ගාණක්නෙ. ඒ වගෙ තමා හච් සිම් එකත්. මොකාද ඉතින් මට බුදුසරණ නම්බර් එකකින් කතා කරන්නෙ.
“හලෝ“

“හලෝ“ එහා පැත්තෙන් තරුණියකගෙ හඩක්.

“ඔව්“

“ඔයා විදුරංග නේද?“

“ඔව්“

“මාව අඳුරන්න පුළුවන්ද?“

ඇයි යකෝ, මේකෙ සි එල් අයි තිබ්බට කතා කරන එකාගෙ උප්පැන්නෙ වැටෙන්නෙ නෑනෙ. එහෙම කියන්නත් හදල ,ආයෙ කවුද දන්නෙ නෑනෙ

“ම්ම්හු අදුරන්න අමාරුයි“
කිව්වට පොඩි හුරු ගතියකුත් තියනව වොයිස් එකේ.

“මං ශාලිකා, මතකද මාව?“

කිරි අප්පට බල්ලො හැට හතක් පැනපි කිව්වලු. මං මාවම කොනිත්තගත්ත.
“කොහොම අමතක වෙන්නද“

“ඔයා වැඩකද ඉන්නෙ?“

“අහ් ම්.. නෑ.. මං කෑම කනව“

“ආ ඕ කේ එහෙනම් ඔයා කන්න ඩියර්. මං තව ටිකකින් ගන්නම්“

“ආ.. හරි“

“බායි“

“බායි“
දුරකතනය විසන්ධි වුනා.

“මොකෝ බං උඹ හොල්මනක් දැකල වගේ“ ගයියා ඇහුවෙ කට කොණකින් හිනා වෙමින්.

“නෑ බං අයියෙ මාර සීන් එකක්නෙ උනේ?“

“ඇයි උඹට පර ලෝකෙන් කෝල් එකක් ආවද?“

“ඊට එහා“

“ඇයි මොකෝ අවුලක්ද?“

“එක්තරා ආකාරයක අවුලක් තමා. මගේ පරම පිවිතුරු කුළුදුල් ඛේදනීය ආදරේ.“

“ඉතින්?“

“නෑ ඒ කාලෙ එයා කැමති උනේ නෑ. දැන් මේ අවුරුදු ගානකට පස්සෙ කතා කරනව“

“ඉතින් යකෝ, ඕක බය වෙන්න දෙයක්ද?“

“හරි. හරි. මේ, මං යනව ප්‍රෝග්‍රෑම් එකට“ මම බත් පත අකුලා නැගිට්ටෙමි.
*************************
මම කැම්පස් යන අතරතුරම ගුවන් විදුලි නාලිකාවක සේවය කළෙමි. තවත් විනාඩි දහයකින් ඇරඹෙන ගුවන් විදුලි වැඩසටහන මෙහෙයවිය යුත්තේ මා විසිනි. වසර 7ක් ආපස්සට ගමන් කල සිත නැවතුණේ තිසේරා මැඩම්ගේ ගණං පංතියේය.

“ඒ අච්චු පොත පෙන්නපංකො“ කුෂාන් කිවේය

“පෙන්නන්නං හැබැයි උඹ කරන පාඩම නෙවි මං කරන්නෙ“

“ඇයි උඹ 35හේ දෙවෙනි අභ්‍යාසෙ ගණං ටික හදන්නෙ නැද්ද?“

“මං මිශ්‍ර අභ්‍යාසෙත් ඉවරයි බං. මං ඕක කලේ ගිය සතියෙ. මං දැන් යන්නෙ 38 බං“

“පුදුම පිස්සුවක්නෙ උඹට තියෙන්නනෙ“

යලිත් හිස පොතටම ඔබාගෙන ගණන් සෑදීම මම ඇරඹුවෙමි. ගණන් පංතියට යාමට මම කොහොමත් විරෝධය දැක්විමි. මට ගණිතයට පන්ති යාම අනවශ්‍ය බව මගේ පිළි ගැනීම විය. එහෙයින් පන්තියේ උගන්වන්නට මත්තෙන් අභ්‍යාසමාලා අවසන් කිරීම මගේ විනෝදාංශය විය. පන්තියට ගිය මොහොතේ සිටම ඔලුව ඔබාගෙන එක දිගට ගණන් හදන මම යලි ඔලුව උස්සන්නේ පන්තිය අවසන් වන වේලාවටය. එලෙසින් දවස් ගතවි යද්දි එක් දිනක් රාහු කාලය උදාවිය. කුමක්දෝ අහේතුවකට දිනක් ඔලුව උස්සා බැලූ විට දුටු දසුනින් මම ගල් ගැසුනෙමි.

“අම්මට සිරි “ කහෝනා ප්යාර් හේ එකේ අමිෂා පටෙල් එනව රතු පාට හෙල්මට් එකකුත් අතින් අරන්.

“අඩෝ කවුද බං අර?“ මං කුෂාන්ට ඇගිල්ලෙන් ඇන්නෙමි.

“ඇයි උඹ අදද දැක්කෙ? මොකෝ අහන්නෙ?“

“නෑ නිකං ඉතින්“ මම යලිත් මුහුණ පොතට ඔබාගත්තෙමි. ඇස් කොටුරූල් පොතේ තිබ්බද කොටු රුල් බොදකරමින් යටැසින් බැල්ම යොමු කලේ ඇය වාඩිවන තැන බැලිමටය. සෙමෙන් සෙමෙන් ඇවිද ආ ඇය පන්තියෙන් පිටත තිබූ ඩෙස්ක් එකක් මත හෙල්මටය සීරුවෙන් තැබුවාය. සන්සුන් ගමනින් ඇවිද ආ ඇය ඉදිරිපස පේළියේ අසුනක වාඩිගත්තාය.

මගේ දින චරියාව වෙනස් විය. ගණං පංතිය මගේ ප්‍රියතම පන්තිය විය. සෙනසුරාදා උදේ අට වන තුරු සතිය පුරා කල් මැරුවෙමි. මමද ඇයද පන්තියට අන්තිමටම පැමිණෙන දෙදෙනා වීමු. පන්තියේ දක්ෂයින් දෙදෙනාද වීමු. ඇගේ සැම ඉරියව්වක්ම මගේ නෙත් ග්‍රහණයට ලක්විය. එයට කිසිම බාධාවත් නොවුයේ කල් තබාම මම සියළු අභ්‍යාස මාලා අවසන් කල බැවිනි. ඇය සැරසූ සැහැල්ලු දිග කලිසමද වෛර්ණ අත් දිග බ්ලවුස්ද මා සිත් ගත්තේය. කැරලි ගැසුණු කොණ්ඩයට සහ සිහින් දත් පෙළට මම පෙම් කළෙමි. ඇය එනතුරු මෙන්ම පිටව යනතුරුද මම බලා සිටියෙමි. වසරක් ගත වුවද සිහින් සිනහවක් හුවමාරු වූවා මිස වැඩි දෙයක් සිදුනොවීය. අමරසිරි පීරිස්ගේ “ඔබ ඇපල් මලක් වාගේ “ ගීතය කිසිදු වෙනසකින් තොරවම මගේ ජීවිතයට ආදේශ විය. ඇගේ නම සොයාගත්තේද අපූරු ක්‍රමයකටය. සිදුකල අභ්‍යාස පරීක්ෂා කිරීමට පොත් තබා යායුතු වු දිනක ඇයට පසුව පොත තැබූ මම සැනෙකින් පොත්ගොඩම බිමට පෙරලා දැමුවෙමි.

“අනේ සොරි මැඩම් මං අහුලන්නම්“ එකින් එක පරෙස්සමින් අහුලා තැබූ මම සලකුණු කරගත් පොතේ නම කියවීමි.

“ශාලිකා විනෝද්‍යා කරුණාරත්න“
******************************
යළිත් දුරකතනය නාද විය.
බුදුසරණ අංකයමය.

“හලෝ“

“හලෝ, ඉතින් හදිස්සියෙ මොකද මාව මතක් වුනේ?“

“නිකං මතක් වුනා“

“කොහොමද නොම්බරේ හොයාගත්තෙ?“

“උවමනාවක් තියනවනම් හොයාගන්න ක්‍රමද නැත්තෙ“

අනේ හැබෑටම ඔය උවමනාව ඒ කාලෙත් තිබ්බනම් හිතට ආ සිතිවිල්ල “අහ්“ යනුවෙන් පිළිවදන් දී ගිල ගතිමි.

“ඉතින් දැන් මොකද කරන්නෙ“

“දැන්නම් මං ෆෝන් එකෙන් කතා කරනව හිටගෙන. ඊළගට ප්‍රෝග්‍රෑම් එකක් කරන්නයි යන්නෙ“

“ආ එහෙමද?. ටී වී එකේ නම් නිතරම දකිනව. එහෙනම් මං අහන්නම්“

“ආ හරි“

දුරකතනය විසන්ධි විය. අඩ හෝරාව ඉබේම ගෙවී ගියේය.
යලිත් බුදුසරණ අංකය දුරකතන තිරයේ දිස්විය. සැබවින්ම මම එය බලාපොරොත්තු වීමි.

“ ලස්සනයි විදුරංග“

“තෑන්ක්ස්“

“ඔයාට මතකද තිසේර මැඩම්ගෙ පංතිය. කහ පාට මල් වැටිච්ච ගුරු පාර“ ඇය ඇසුවාය.
***********************
ගුරු පාර දිගේ ඈ යනෙන තුරු දහස් වරක් මා බලා සිටින්නට ඇත. එහෙත් වටා පිටාවේ තබාගත් කීර්ති නාමය වෙනුවෙන් මම මුනිවත රැක්කෙමි. සිනහවෙන් පමණක් සැනසුනෙමි. ඇගේ මව තිසේරා ගුරුතුමියගේ සමිප හිතවතියක් වීමද එයට තවත් හේතුවක් විය.

දිනක් පන්තිය ඇරී යන විට ඇගේ පියා මෝටර් බයිසිකලය මදෙසට සමීප කරනු මම දුටුවෙමි. මල ජූලියයි. මොකක් හෝ මෝල් ගහක් පත්තු වී ඇතුවා නිසැකය. එළියට නොදැම්මාට මගේ බඩේ බිත්තර ඇති බව කිහිප දෙනෙක් දනී. ආදරයයි කැස්සයි හංගන්නට බැරි බව මොකෙක්දෝ කියා ඇත්තේ මේ නිසා විය යුතුය. හැකි තරම් පය ඉක්මන් කලද යතුරු පැදිය ඉස්සර විය. ඇය යතුරු පැදියෙන් බැස ගත්තාය. මල විනාසයකි. හුරු පුරුදු ගම මැද්දේ රෙදි ගැලවෙනු ඇත. මම සීතල වී ගියෙමි.

“විදුරංග“

“අ..ඇ ඇයි ශාලිකා??“ මම තුෂ්නිම්භූතව විමසුවෙමි.

“මට ඔයාලගෙ ඉස්කෝලේ සයන්ස් පේපර් එකයි මැත්ස් පේපර් එකයි ගෙනත් දෙනවද?“

මගුලක්නෙ. ඕක කියන්නද ඔච්චර මාව බය කලේ. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි.

“අයියෝ සුළු දෙයක්නෙ“
දත් තිස් දෙකම පෙන්නා මම කීමි. ඇය සුපුරුදු සන්සුන් ගමනින් ආපසු හැරුණාය. මම සුළගේ පාවෙන්නට වීමි. මට නිර්මාණය කරගත නොහැකි වූ සමනල පාලමක් ඇයම නිර්මාණය කලාය. සමණල පාලම දේදුණු පාලමක් කර ගැනීමට මම හදිසි නොවුනෙමි. දේදුන්න සැණෙකින් මැකී යා හැකිය. මම එයට බියවීමි. එන්නම් යන්නම් හිතවත්කමකට සහ විෂය කරුණු වලට පමණක් අපේ හිතවත්කම සීමා විය. සාමාන්‍ය පෙලට මාස දෙකක් තිබියදී අඩියක් පෙරට තැබීමට මම සැරසුනෙමි. ෆුල්ස් කැප් පිටු හතරක් විචිත්‍රවත් කල මගේ ආදරය සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය කාටත් හොරා සැකසී තිබිණ. එය ඇගේද මගේද හොදම මිතුරිය දර්ශනි අතට මම පත් කළෙමි. එහෙත් ශාලිකා පන්ති නාවාය. සති කිහිපයක්ම නාවාය. තව දුරටත් මගේ හසුන ළග තබාගත නොහැකි වු තැන මිතුරිය එය යලි මා අතට පත් කලාය. එය මගේ ගණිත පොත තුල තැන්පත් විය. ගත වූ සති කිහිපයේම ඇස් රිදෙන තුරු බලා සිටියද ඇය නාවාය. එහෙත් හදිසියේම එක් සතියක ඇය සුපුරුදු හිනාවෙන්ම සුපුරුදු ගමනින්ම පැමිණ සිටියාය. මම තුරුම්පු ආසියාම ගැසීමට තිරණය කළෙමි. මෙය නිසැකවම මට ලැබෙන අවසන් අවස්ථාවයි. පන්තිය අවසානයේ ඇය පියා ළගට යාමට පෙර ඇය හමුවිම සැලසුම විය. තිසේරා මැඩම් එදෙසට පැමිණීමට ඉඩ ඇත. එසේ වුවහොත් වැඩේ කොට උඩ යන අතර සායම හේදෙනු නිසැකය..

“කුෂාන්, මං පංතිය ඉවර උනු ගමන් යනව මේක දෙන්න. උඹ මැඩම්ගෙන් බැරි ගණං ගොඩක් අහන්න ඕන. හරිනෙ. හදිසියෙ හරි මැඩම් එනවනම් උඹ අමිලයව ඉස්සරහට එවපන් “

පන්තිය අවසන් විය. සැලසුම ක්‍රියාත්මක වෙයි. ඇය මට කලින් පන්තියෙන් පිටවුනද මගේ වේගයට ඇය පරාද වූවාය. ඇය මා ඉදිරියට සුපුරුදු සන්සුන්කමින් පියනගන්නීය. ගැහෙන වේගයට හදවත එළියට පනීදැයි මට සිතේ. උන්නත් දහයි මළත් දහයි. තව අඩි දෙකක් ඉදිරියට තැබීමි.

“ඇයි ඔයා පහුගිය ටිකේ ආවෙ නැත්තෙ?“

“නිකං.. මං පාඩම් කරනව ගෙදර ඉදන්“

“හ්ම්..ඔයාට දෙන්න දෙයක් තියනව“

“මොකද්ද“

“අරං කියවල බලන්න“

“මොකක් ගැනද?“

“ඔයා දන්නවනෙ ඒක. මං අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනෙ“

“මට බෑ විදුරංග“

“හරි දැන්ම නෙවෙයි. මං බලන් ඉන්නම්“

“මට බෑ“

“කවදාවත්ම?“ මං ඇහුවෙ මොකවත්ම නැතුවට වඩා බලාපොරොත්තුවක් තියන එක හොද නිසා.

“අපි බලමු ඉස්සරහදි හම්බ උනොත්“ ඇපෙන් ගැලවෙන පිළිතුරකින් ඇය ඉවත් වූවාය.
“මං යන්නම් විදුරංග. හොදට එක්සෑම් කරන්න“

ඇය මේක කලින්ම ඉගි කරලා තිබුණා. ඇගෙ අතින්ම හදපු කවරෙක දාලා මට දිපු වෙසක් කාඩ් එකෙනුත් මගෙ සමරු පොතේ තිබ්බ සටහනෙනුත්.
“හ්ම් ම්“ දිග හුස්මක් ඉහලට ඇදල පහලට හෙලද්දි. හැඩ වැඩ දාලා ලියපු ලියුමෙ කෑලි සිය ගාණක් ගුරුපාරෙ කහපාට මල්පෙති අතරට එකතු වුනා.
***********************
“අමතක වෙන්නෙ නෑ ඒ ගුරු පාර. අදටත් ඉදල හිටල එතනින් යද්දි මට ඒ පැත්ත බැලෙනව. අපි හිටපු බංකුවල පොඩි පොඩි පැටව් ඉන්නව. මට මං හිටපු හැටි මැවිල පේනව“

“ඒ කාලෙ ලස්සනයි විදුරංග“

“ඔයා ඇත්තටම එහෙම හිතනවද? මේ ඒක නෙවි, දෙයක් අහන්න ඇත්තම කියනවද?“ මං ඇහුවෙ හීන් හිනාවක් මුවේ රදවගෙන. ඒ හිනාවෙ අර්ථය සංකීර්ණයි.

“අහන්න, අනිවාර්යෙන් ඇත්තම කියනව“

“රේඩියෝ එකෙන් ඇහෙද්දි මගේ වොයිස් එක ලස්සනද?“

“අහ් ඒකද?“ ඇය ඇහුවෙ අනපේක්ෂිත පහරක් වැදුනු කලෙක මෙන් ගැස්සෙමින්.

“ඒකද කිව්වෙ? ඔයා හිතුවෙ මං මොකක් අහයි කියලද?“

“නෑ..හ් මට ඒක නිකං කියවුනේ. ලස්සනයි ඇත්තටම, ගැඹුරුයි, හොදයි“

“ඔයා දැන් සෙකන්ඩ් ඉයර් නේද?“ මං ඇහුව.
*************************
හන්තානට පායන හද මට නොපෙනුනාට ඈට පේන බව මං දැනන් හිටිය. එදා කහපාට මල්පෙති අතරට සිය ගාණක් කොළ කෑලි එක්ක සී සී කඩ ගිය මගේ බලාපොරොත්තුත් එකතු උනා. “අපි බලමු ඉස්සරහදි“ ඇගෙ වදන් මගේ කන්වල දෝංකාර දුන්න. ඒත් එක්කම මගෙ සමරුපොතේ ඈ වැල් අකුරින් තියපු සටහන ඇගෙ වදන් බොරු බවට සාක්කි දුන්න. “බී අ ග්‍රේට් බෝයි විදුරංග. යු හැව් ටු ෆුල්ෆිල් යුවර් මදර්ස් ඩ්‍රීම්“. ඒ සාක්කිය යට ගහපු මං හිතාගත්ත ඒ 10ක් ගත්තොත් තත්වය වෙනස් වෙයි කියල. අලුතින් නිර්මාණය වෙච්ච තත්වය හමුවේ කාලයක් හිතේ තිබ්බ ඒ 10ක අරමුණ පාවා දෙන්න මට ඕන කලේ නෑ. ඇය ඒ 9 බී එකක් ගනිද්දි. මම ඒ 10ම ගත්ත. ඒත් වෙනසක් වුනේ නෑ.

ඇයව හමුවෙන්න කිහිපවරක් උත්සහ කලත් ඒ කිසි දෙයක් සාර්ථක වුනේ නෑ. ඒ වෙද්දි මේ පරාජය සහ තවත් හේතු කීපයක් මත මට ඉගෙන ගන්න ඒ හැටි උනන්දුවක් තිබ්බෙ නෑ. භෞතික විද්‍යාව ඇරෙන්න අනික් විෂයන් මං ප්‍රිය කළේ නෑ. නොතේරෙන දේ එළවගෙන යන්න උත්සහ කළෙත් නෑ. එක්තරා රික්තයකට නොදැනුවත්වම මාව ඇදිල ගිහින් තිබ්බ. ඒකෙන් මිදෙන්න මං උත්සහ කළේ ඇයට උපන්දින සුබ පැතුමක් දෙන්න ඇගෙ කෙමෙස්ට්‍රි පන්තිය ලගට ගිහින්. උපන්දින සුබපැතුම් කොහොම වෙතත් මාව දැකපු ඇය අප්‍රමාණ භීතියකට පත් වුනා. මොකද පරාජිත ප්‍රේමයට පිහි ඇනුම් තෑගි කරපු රැල්ලක් ඒ දවස්වල තිබුණ. මගෙ තුන්හිතකවත් එහෙම දෙයක් නොතිබ්බත් මගෙත් එක්ක පොඩි කෝන්තරයක් තිබ්බ ඇගෙ මිතුරියො ටිකක් ඒක ඇගෙ ඔළුවට දාල තිබුණ. තාත්තව මං හිටපු පැත්තට දාපු ඈ පාර අයිනෙ තිබ්බ තාප්පෙ බඩගාපු නැති ටික විතරයි. හරියටම තමන්ව ගිලගන්න ඉන්න ඇනකොන්ඩාවෙක්ගෙන් ලිස්සල යන හා පැටියෙක් වගේ ඈ ගමන් කලේ. වස විලි ලැජ්ජාවයි. ඔන්න ඒ පිටිපස්සෙන් මගේ යාලුවෙක්. ගණදෙවි නුවණ පහල වුනේ එවලේ.

“මොන මගුලක්ද බං මං කොච්චර වෙලා ඉදන්ද ඉන්නෙ. කෝ උඹ ගෙනාවද මගේ පොත“ මං ටිකක් සද්දෙට ඇහුව.
ඌ තුෂ්නිම්භූත වෙලා බලද්දි උගෙ ඉස්සරහටම අඩිය තියපු මං දබරැගිල්ල තොල් හරහ තිබ්බ.
“තැන්ක් යූ මචං එහෙනම් අපි ගියා“ කියපු මම අඩියට දෙකට එතනින් මාරු උනා.
එකක් කඩතොලු මකා ගන්නට ගොසින් මට උනු වියෝයා. දෙකක් කඩතොලු හදා දුන්නයි ඉදුරුවේ ආචාරියා කිව්වලු. යන්න හැරුණත් අඩිය ගෙවල් පැත්තට ඇදෙන්නෙ නැති ගතියක් දැනුණා. වෙච්ච නෝන්ඩියට දරුණු ප්‍රහාරයක් දෙන්න මං තීරණය කලා...

ශාලිකාගෙ පියා පන්ති ඉවරවෙනකල් රැදිල ඉන්න බව මං දැනගෙන හිටිය. කෙලින්ම එතනට ගිය මං
“මට අන්කල් එක්ක ටිකක් කතා කරන්න ඕන“

“ඔව් පුතා.“ අන්ද මන්ද වෙලා ගිය අංකල් කිව්ව.

මගෙ කටට සට පට ගාල වචන ආවා. දෙපාරක් නොහිතම මං ඒව එළියට දැම්ම.
“අන්කල් මං ශාලිකාට ඇත්තටම ආදරෙයි තමයි. හැබැයි එයා හිතං ඉන්නව වගේ මෝඩ බොළද වැඩ කරන්න තරං මට පිස්සුවක් නෑ. ආදරේ කියන්නෙ ආදරේම විතරයි. අංකල්ට පුළුවන්නම් එයාට තේරුම් කරන්න මට බයවෙන්න හේතුවක් නැති බව“

“නෑ පුතා අපි දන්නව පුතා ගැන“ අනපේක්ෂිත ප්‍රහාරයෙන් අන්ද මන්ද වෙච්ච අංකල් වචන ගලපන්න ගත්තෙ මාව ෂේප් වෙන විදියට.මං ඒකට බාධා කලා

“නෑ අංකල් අපි දෙන්නට දෙන්න රවට්ටගන්න කතා කරන එක තේරුමක් නෑ. මං කියපු දේ පුළුවන්නම් එයාට කියන්න“ විරයා වෙලා හිටපු මං අසුරු සැණින් එතනින් මාරු උනා. විරත්වයට උපහාර දැක්වීමේ අරමුණින් ශාලිකාගෙ අම්ම මාව හමුවෙන්න ඕන බව කියල එව්වෙ ඇගෙ මිතුරියක් මාර්ගයෙන්.

“හරි, දිනෙයි වෙලාවයි තැනයි අහන් එන්න. මං එන්නම්“ මම හැරෙන තැපැලෙන් කිව්ව. නමුත් ඒ දිනෙයි වෙලාවයි තැනයි ඈ මට කවදාවත් කියල එව්වෙ නෑ.
*********************
“ඔව් මං දැන් සෙකන්ඩ් ඉයර්“ ශාලිකා උත්තර දුන්න

“දැන් එක්සිබිෂන් එහෙම බලන්න යන්නෙ නැද්ද“

“අපොයි. මොකද නැත්තෙ යනව. මේ ළගදි රාගම තිබ්බෙ මෙඩිකල් ෆැකල්ටියෙ එක්සිබිෂන් එක. ඒකටත් ගියා. ඇයි එහෙම ඇහුවෙ“

“නෑ, මතකද රෝයල් එකේ එක්සිබිෂන් එකේදි අපි හම්බ උනා?“ මාත් පරණ කතාවක් මතක් කලා.
**********************
ඒ දවස මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් උනා. අපිව පාසලෙන් එක්කගෙන යන්න නියම වෙලා තිබ්බෙ එක්සිබිෂන් එකේ අන්තිම දවසෙ. ගමන් අරඹපු මෙහොතෙ ඉදන් එතනදි ශාලිකාව මුණ ගැහෙනවමයි කියල මට දැනෙන්න ගත්ත. ප්‍රදර්ශනේ දවස් 7ක් තිබුණ නිසා ඇයත් අද මේ වෙලාවෙම එන්න තියෙන්නෙ අවම සම්භාවිතාවක් බව මම දැනන් හිටියත් යටි හිතට දැනෙන දේ මං ප්‍රබලව විශ්වාස කලා. ඒ නිසාම ප්‍රදර්ශන භූමියට ගිය ගමන් සගයන්ගෙන් වෙන් වෙච්ච මං ඇය සෙවීමේ මෙහෙයුම ඇරඹුව. උඩ ඉදන් පහලටත් පහල ඉදන් උඩටත් මං ඇවිද්දෙ පිස්සු බල්ලෙක් වගේ. ඔහොම යනකොට පුරුදු රූපයක් මං දැක්ක. දර්ශනී, ශාලිකාගෙත් මගෙත් ළගම මිතුරිය උනේ ඇය.

“මචං, ශාලිකා ඉන්නව කොහෙහරි හොයාගන්න හෙල්ප් එකක් දියං“ ප්‍රදර්ශනේ සීමා වෙන් කරපු ළණුවකට උඩින් පැන්න මම දර්ශනීගෙ අත්දෙකෙන්ම අල්ල ගත්ත.

“අත අතෑරපං යකෝ, මැඩම්ලත් ඉන්නව“

“හරි අතාරින්නං, උදව් කරනවද? “

“හරි හරි. මාර ආණ්ඩුවක්නෙ යකෝ මේක“

එහෙම උනත් අවසානෙදි මමම තනියම ශාලිකාව හොයාගත්ත. එතැන් ඉදන් ඇයට ලං වෙන්න උත්සහ කලත්, පිරිස වැඩිවුන තැනකදි ඇය මාව මගහරින්න සමත් වුනා. දෙවෙනි වතාවට ඇයව දකින කොට දර්ශනීගෙ කණට යමක් කොඳුරපු ඇය පාසලේ බස්රථයට වැදිල නොපෙනි ගියා. කියපු දේ මොකක්ද කියල දර්ශනී මට නොකිව්වෙ ඒකෙන් මට තවත් රිදෙන නිසා බව මම දැනන් හිටිය. ඒත් දෙකෙන් එකක් දැනගන්න ඕන වෙච්ච මම කිලෝ මීටර හතර හමාරක දුරක් හැල්මෙ දිව්වෙ ඇගෙ පාසල ළගට. මාර්ග තදබදය අස්සෙ වාහන ගාටන කොට ඊට කලින් මට අවශ්‍ය තැනට යන්න පුළුවන් උනා.ඔවුන්ගෙ බස් එක පාසලට ලං වෙන කොට අපේ කතාව දැනගෙන හිටපු ඇගෙ යෙහෙලියො බහුතරයක් ඇස් ලොකු කරගෙන මං දිහා බලන් උන්නා. දස අවතාරෙ වගේ හැම තැනින්ම මතුවෙන එක ඔවුන්ට මහ පුදුමයක් උනා. ඒත් අති සාර්ථක සියවෙනි වතාවටත් මගෙ උත්සාහය අසාර්ථක උනා. ඇගෙ හෙවනැල්ලක්වත් මට දකින්න ලැබුණෙ නෑ.

ඔය සිද්ධියෙන් හෙම්බත් වෙලා හිටපු මට වෙඩින් එකකදි තුල්සි අක්කව හමු උනා. මෙඩිසින් කරපු බ්‍රයිට් කේස් එකක් වෙච්ච තුල්සි අක්ක ගැන මගෙ හිතේ තිබ්බෙ හෙනම භක්තියක්.

“මොකෝ උඹ නැව ගිලිච්ච පයිලට් වගේ ඉන්නෙ? මොකක් හරි අවුලක් නේද?“ තුල්සි අක්ක ඇහුව

“ඔව්“ සරලව කෙටියෙන් මං කිව්ව

“වරෙන් යන්න අර පැත්තට. කියපං බලන්න කතාව“
මුල්ලක තිබ්බ මේසෙක වාඩිවෙලා කඩල ඇට හපන ගමන් මගේ ප්‍රේම පුරාණය සම්පූර්ණයෙන් දිගෑරිය.

“ඈ මී හරකො ඕකද දැන් උඹට තියන ලොකුම ප්‍රශ්නෙ. ඒ ලෙවල් වලට තව අවුරුද්දයි, ගොනා නොවී ඒක කරගනින්, කැම්පස් ගියාට පස්සෙ ඕව සේරම හරි. අනික මෝඩයෝ උඹ කෙල්ලො පස්සෙ ගිහින් බාල්දු වෙන්න ඕන එකෙක්ද? මොකද ඒකි අයිෂ්වර්යා රායිද?“ තුල්සි අක්ක ලොකු දෝස් මුරයක් දැම්ම.

“නැ අක්කෙ. ටිකක් අමිෂ පටෙල්ගෙ ලුක් එක තියනව“ මාත් ඇගට නොදැනි කිව්ව

“අනේ උඹේ අමිෂා. මං කියන්න නැ උඹට. පොල් බූරුවා“ හැබැයි ඒ එකක්වත් මගෙ කුඩා මොළයට දැනුනෙ නෑ. හැබැයි ඊළගට කියපු කතාවෙන් මට චතුරාර්ය සතයයම අවබෝධ උනා.
“මං උඹට ලව් කරන්න එපා කියන්නෙ නෑ. හැබැයි මේක මතක තියාගනින්. සිරා ලව් එකක් ඇතිවෙන්න දෙන්නට දෙන්න අතරෙ ආදරේ වගේම එකිනෙකා ගැන ගෞරවයක් තියෙන්න ඕන. ඒකි උඹව ගණන් ගන්නැත්තං එතන කොහෙද බං ආදරයක්?“

ඇත්ත නේන්නං. ඒ කාලෙ හාමුදුරුවරු බණ පද දෙකක් අහල මාර්ග ඵල ලැබුවෙත් මෙහෙම වෙන්නැති. කතාව හරි. එතනින් මගෙ මුළු ජීවන චක්‍රයම වෙනස් උනා. හැබැයි අවුරුදු එකහමාරක් නාස්ති වෙච්ච නිසා පළවෙනි පාරින් මොරටුව කැම්පස් යන්න බැරි බව මං දැනන් හිටියා. ඒත් හැකි සියලු වීරිය යොදන්න මං තීරණය කලා.
**********************
“රෝයල් එකේදි. ම්හ්. ඒවා පරණ කතානෙ“ ශාලිකා කිව්වා

“ඔයා එදා මොකද්ද දර්ශනීට කිව්වෙ?“ හරි උත්තරයක් නොලැබෙන බව දැන දැනත් මං ඇහුව.

“ම් ම් මට හරියට මතක නෑ විදුරංග, දැන් ගොඩක් කල්නෙ“

“හරි හරි ඒකෙන් කමක් නෑ. දැන් කොහොමද මධුරයට ඌ හොදින් ඉන්නවද? හම්බ උනෙත් නෑ ගොඩ කාලෙකින්“ සෑහෙන වෙලාවක් හිතේ කැකෑරෙමින් තිබ්බ ප්‍රශ්නෙ මං ඇහුව. ඒත් එක්ක මං ආපහු අවුරුදු තුනක් පස්සට ගියා.
****************************
ඒ ලෙවල්වලින් මට ලැබුනෙ බී එකයි සී දෙකයි. ශාලිකාට එතරම්වත් නොලැබිම මට විමතියක් වගේම සියුම් සතුටකුත් ඇති කලා. කැම්පස් යන්න පුළුවන් උනත් මගෙ ඉලක්කය උනේ මොරටුව විශ්ව විද්‍යාලය. එනිසා පළමුවර විභාගය අවසන් කල ගමන්ම මං ඊළග අවුරුද්දට ලැස්ති උනා. එවර මං ප්‍රිය කරපු මගෙ ආදරණීය භෞතික විද්‍යා පංතියම ශාලිකත් තෝරගෙන තිබුණ. ඒත් මට ඒක එතරම් විශේෂයක් උනේ නෑ. ඇය ගැන තිබ්බ බලාපොරොත්තු හිතේ කොණක තිබ්බත් මොරටුවට මං ඊට වඩා ප්‍රේම කලා.
දවසක් පන්ති ඇරිල යන අතරෙ බස් නැවතුම්පලේ හිටපු මගෙ සගයෙක් දැකල මං එතෙන්ට ලං උනා.
“අඩෝ මධුරයා, ක්ලාස් ඇරිල එ....“ මං මොහොකට ගොළු උනේ එතන හිටපු ශාලිකාව දැකල. “ආහ්..ශාලිකා“

“උඹ මෙයාව දන්නවද?“ මධුර ඇහුව

“මම? මම මොකද බන් නොදන්නෙ?“

“මං ඔයාට කිව්වෙ මධුර“ ශාලිකා තොල් මැතිරුව

“ මං යන්නම් බං“ කියපු මං එතනින් ඉවත් උනේ එතනට ගිය ගොන්කම ගැන සිතමින්.

ටිකකින් මධුර මා ළගට ආවා.
“අඩෝ සොරි බං, සිරාවටම සොරි, මං දැනන් හිටියෙ නෑ උඹ මැරීගෙන ට්‍රයි කළේ ශාලිකාට කියල. ඒ ලෙවල් ලියද්දි එක්සෑම් එකට අපි එක වෑන් එකේ ගියෙ. එතකොට අදුරගත්තෙ“

“පිස්සුද බං. උඹ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න මගෙන් අවසර ගන්න ඕනද? ඕක අතෑරල දාපං. මං ඒක අමතක කරල ගොඩක් කල් “ ඇත්තම නොවුනත් මං ඇත්තම වගේ කියල දැම්ම. එදයින් පස්සෙ ශාලිකාව දැක්කත් නොදැක්ක ගානට ඉන්න මං පුරුදු උනා. ඒක මගෙ හිතට පහසුවක් උනා.
ඒ වෙද්දි සෑහෙන දුරට මිනිස්සුන්ගෙ හිත් කියවන්න හුරුවෙලා හිටපු මට එක දෙයක් තේරුණා. අඩුම තරමේ මං විශ්වාස කලා. ක්ෂණිකව ඇතිවෙච්ච ඒ ආදරේ ආකර්ශණයක් විතරක් බවත් ඒක ක්ෂණිකවම අවසන් වෙන බවත් මං විශ්වාස කලා.
*******************
“ඒක ඒ දවස්වලම ඉවර උනා විදුරංග. ඒක මතක් කරන්නවත් මං කැමති නෑ“

“ඇයි?“

“එයා ගැන මතකය, තාර ගුලියක් වගේ ගුලි කරල විසි කලා මං“

“හරි හරි ඉට්ස් ඕකේ. ශාලිකා මං දැන් ඊළග ප්‍රෝ ග්‍රෑම් එකට ලැස්ති වෙන්න ඕන. මං තියන්නද?“

“ආහ්. කීයටද ?“

“11ට. තව විනාඩි 40යි තියෙන්නෙ“

“හරි මං අහනව. ලස්සනට කරන්න“

කොහොමටත් ආදරයටම වෙන්වුනු ඒ වැඩසටහනේ, මං කලින් සූදානම් කරපු ගීත පෙළ ගැස්ම වෙනස් කරන්න මං තීරණය කලා. මගෙ හිතේ වැඩසටහන ගැන වගේම මං ගැනත් ක්ෂණික සැලසුමක් නිර්මාණය වෙලා තිබුණ. මං මැදිරිය තුලට ගියෙ අමුතුම හැගීමකින්. සයිලන්ට් කරපු මගෙ ජංගම දුරකථනය සිඩී තැටි මිටිය ළගින් තියල මං වැඩ පටන් ගත්ත.
“ජීවිතේ හමුවිම් පුදුමාකාරයි. හිතන්නත් බැරි තරම්. මේ අපේ තවත් එක් හමුවීමක්. ආදරණීය හෝරාවක ඇරඹුමට ඔබේත් මගේත් මේ හමුවීම“
මගේ වදන් වලට යටින් ජගත් වික්‍රම සිංහගේ ප්‍රේමණීය හඩ
“ඔබ මා... හමුවේනම්....
එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට....“

ගෙවුණු කාලය තුල වදින්නට අවශ්‍ය තැනට ඉලක්ක කරන්න මං හුරුවෙලා හිටිය. ඒ නිසා ඊළග ඊතල පාරත් හරි තැනට වැදුනොත් ප්‍රතිචාරයක් ලැබෙන බවත් මං දැනගෙන හිටිය.
“ප්‍රේමය ,විරහව, හුදකලාව, විටෙක උන්මාදනීය ආනන්දයකට අපිව අරගෙන යනව. හුදකලාව තුල දැනෙන මාරාන්තික වේදනාව.. නිහඩ , පාළු රැයක...“
“උන්මා...ද සිතුවම් මැවේ බිදේ - මිහිදුම් වලා මැද අතීතයේ
බිදුනු පෙමින් ගිනිගත් හදවත් - තනිවේවි එක්ටැම්ගේ“ මාරාන්තික හුදකලාවක වේදනාව මුසු කරපු කපුගේගෙ හඩ ගුවනට මුසුඋනා..

“දහසක් මල් මැද එකම මලයි පැතුවේ - එමල කිමද සරදම් කර සැගව ගියේ“
හරි තැනදි පිළිතුරක් ලැබුණ.
එස් එම් එස් එකක්
“ මං දන්නව විදුරංග ඔයා ගොඩක් විඳවන්න ඇති. ඒත් මට ඒ කාලෙ ඒක තේරුණේ නෑ“

“මධුර විතරක් නෙවෙයිනෙ ඔයාගෙ ජීවිතේ හිටියෙ?“ මං දුස්රාවක් දැම්මෙ අමරසිරි පීරිස්ගෙ හඩත් එක්ක
“හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න“

ටික වේලාවකින් පිළිතුරක්
“ඔව් ඔයා හරි. ඒත් ඒ කවුරුත් මට ඇත්තටම ආදරේ කලේ නෑ.“
“ඔයාව මම ඒ දවස්වල තේරුම් ගත්තෙ නෑ. ඒකට විවිධ හේතු තිබුණ. මගෙ සමහර යාලුවොත් ඒකට හේතු උනා“ පිළිතුරට ඌන පූරණයක්.

ආයෙත් ජගත් වික්‍රමසිංහගෙ හඩ
“ඔබේ සිනා ළග නෙත නැවතුනුදා - ඔබේ කතා ළග සිත නැවතුනුදා
ප්‍රේමය හැදින්නෙමී මේ ලෝ තලයේ...“

ටිකකින් තවත් එස් එම් එස් එකක්
“විදුරංග හඳ විතරක් නෙවෙයි මෙහෙ තියෙන්නෙ. ගොඩක් ලස්සන දේවල් තියනව. මාර්ච්වලට මුළු පැත්තම මල්වලින් පිරෙනව. හරි ලස්සනයි. ඔයා එනවනම් බලන්න පුළුවන්“

ඒකට පිළිතුරු දීම මගේ සැලසුමේ තිබුණෙ නෑ. හංගගෙන හිටපු තුරුම්පු ආසියා මං ඇද්ද. ඒ දිවුල්ගනේ
“හන්තාන දෙසින් එන මුදු සීත පවන් රැලි නුඹ තාම හොදින් හදුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ මම බොහොම ප්‍රවේසම් කරගන්නම්“
ඇත්තටම මේ ගිතයේ එක පද පෙලක් මට එදා එක්සිබිෂන් එක සිහිපත් කලා. අමුතු හැගිමක් ඒ පද පෙලෙන් හැමදාමත් මං වින්දා.
“මහ සෙනග අතර නුඹ කොතැනක හෝ එහි හිඳිනු ඇතැයි නිකමට සිතෙනා“
තවත් එස් එම් එස් එකක්. හත් අවුරුද්දකට කලින් දහසක් බලාපොරොත්තු තියපු පණිවිඩයක් ඒකෙ ලියවිල තිබුණ බව මං ඉවෙන් වගේ දැනන් හිටිය.

“ඔව් මං ඒ පාන පත්තු කරන්න ලෑස්තියි. විදුරංග, ඔයා ඒක නිවෙන්න නොදී තියාගන්නවද?“

පිළිතුරක් යවන්න මම කල් මැරුව. මගෙ සැලසුමේ කූට ප්‍රාප්තියට මං එළඹිලා හිටියෙ. එනිසා මට කලබල වෙන්න දෙයක් තිබුණෙ නෑ. ගතවෙච්ච අවුරුදු හත ගොඩක් දේවල් මට උගන්නල තිබුණ. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අවුරුදු කිහිපයක් බලං හිටපු මට තව විනාඩි 30ක් ඉන්න බැරි නෑ. වෙහෙර ගිලපු එකාට අග්ගලාව කජ්ජක්ද? ශාලිකාට තව විනාඩි 30ක් බලන් ඉන්න උනාට කමක් නෑ. එක අතකට ඒ දඩුවම එයට මදි කියල මට හිතුන.
මධ්‍යම රාත්‍රියට තව මිනිත්තු කිහිපයයි. මම වැඩසටහනෙන් සමුගන්න සූදානම් උනා

“ඉගිලිලා යන කාලය අල්ලන්න අපිට පුළුවන් උනා නම්..., නමුත් අවාසනාවට එහෙම බෑ, ඉඩ දෙන්න අදට ඔබෙන් සමුගන්න, කාලය බොහෝ දේවල් නිවැරදිව තීරණය කරාවි. සුබ රාත්‍රියක්“

අලුත් දවසක උදාවට මිනිත්තු කිපයක් තියෙද්දි මං බලාපොරොත්තු උන පිළිතුර යවන්න මම තීරණය කලා

“ශාලිකා, මං හැමදාමත් හීන මැව්ව අහිංසක, පුංචි, හුරතල් මට ගොඩක් ආදරේ කරන කෙල්ලෙක්ට ආදරේ කරන්න. මහ හුගක් ආදරේ කරන්න. ඔයාට පිං සිද්ද වෙන්න මං අද ඒ දේ කරනව. එදා ඔයා ගත්ත තීරණේ හරියටම හරි. දැන් ඔයා ගොඩක් පරක්කුයි. අයි ඈම් වෙරි සොරි.“

-විදුරංග ගුණසේකර-
(ඇතැම් නම් ගම් පමණක් මනංකල්පිතයි)

1 comment:

  1. She may not done intentionally all these things. She may no need to hurt anybody. Hwever she was hurted in her life.

    ReplyDelete