මුල් පිටුව

කෙටිකතා

කවි සහ ගීත

වෙනත් ලිපි

Thursday, May 15, 2014

ප්‍රීති වෙසක් සහ අපේ ශ්‍රද්ධාව

තවත් වෙසක් සදක් උදාවිය, ප්‍රීති වෙසක් යැයි සැම අතින් ඇසේ, නැතහොත් දක්නට ලැබේ. එසේ සදහන් එස් එම් එස් කිහිපයක්ද ලැබිණ. සැබවින්ම ප්‍රීතියක් මේ වෙසගෙහි තිබේදැයි මට සිතේ. බෞද්ධයන් වශයෙන් ප්‍රීති වීමටනම් අපි ධර්මානුකූල මාර්ගයක යමින් සත්‍යාවබෝධය කරා ගමන් කල යුතුය. එවිට බෞද්ධයන් වශයෙන් නිරාමිස ප්‍රීතියක් භුක්ති විදිය හැකිය.
නමුත් සිංහල බෞද්ධ ලේබලය අලවාගෙන සිටින බහුතරය බුදුන් වදාල මාර්ගයේ නොයන බවනම් සක්සුදක් සේ පැහැදිලිය. අපට වැරදුනේ කොතනද සොයනවාට වඩා හරි මාර්ගය ඇත්තේ කොතනද සෙවීම සුදුසු යැයි මට හැගේ. එවිට වැරදුනු තැන් ඉබේම හමුවනු ඇත.
පෘථග්ජනයින් ලෙස අපව නිවන් මගට යොමුකරන පළමු පියවර ශ්‍රද්ධාවයි. අද අපි එළියට ගොස් බැලුවොත් ශ්‍රද්ධා සම්පන්න බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත ගණනින් දැකගත හැක. මමද ඔබද විවිධ පින්කම්වලට දායක වන්නෙමු. නමුත් අප තුල සැබෑ ශ්‍රද්ධාව පවතීද?
බුදුන් වහන්සේ වදාල පරිදි ශ්‍රද්ධාව කොටස් දෙකකි.
1. අමූලිකා ශ්‍රද්ධාව
2. ආකාරවතී ශ්‍රද්ධාව
වර්තමානයේ බහුතරයක් තුල පවතින්නේ අමූලිකා ශ්‍රද්ධාවයි. ඇතැම් ස්වාමීන් වහන්සේලාද බෞද්ධයන් අමූලිකා ශ්‍රද්ධාවට යොමු කිරීම ඛේදජනකය. අසවල් පන්සලට වඩා හොදට අපේ පෙරහර කළ යුතුයැයි දායකයන් මෙහෙයවන ස්වාමීන් වහන්සේලා මෙන්ම පන්සලේ අසවල් වැඩේට හැම දායකයෙකුම මෙපමණ මුදලක් ලබා දිය යුතු යැයි නීති පනවන ස්වාමීන් වහන්සේලාද අපි දකින්නෙමු. පන්සලකට යන බැතිමතුන් සංඛ්‍යාව මෙන්ම නායක ස්වාමීන් වහන්සේ පිළිබදවද මනින්නේ පන්සලේ ඇති භෞතික සංවර්ධනය සැලකිල්ලට ගනිමිනි. සක්කාය දිට්ඨියෙන් සිදුකරන ක්‍රියාවන් සියල්ල අමූලිකා ශ්‍රද්ධාවට අයත්ය. අරයට වඩා ලොකු දානයක් මං දෙනවා යයි කියමින් පින් දහම් කරන් ඇත්තෝ අමූලිකා ශ්‍රද්ධාවෙන් යුක්ත වූවෝය. කිසිවක් බුද්ධියෙන් නොවිමසා සෑම දෙයකටම සාදු කියන්නෝ අමූලිකා ශ්‍රද්ධාවෙන් යුක්තය. ඔවුහු එමගින් කුසල් නොව අකුසලයන් වඩති. අමූලිකා ශ්‍රද්ධාව ඇති කිරීම පහසු බැවින් එය දඩමීමා කරගත් ශ්‍රමණ වේශධාරීහු බෞද්ධයන් මුලා කරති. අද බණ කියන්නේ පැකේජ වලටය. අද බෞද්ධයාට බණක් අහන්නට නම් නමගිය හාමුදුරු කෙනෙක් අවශ්‍යය. නැත්තං ඒ බණ මෙලෝරහක් නැත. නම ගිය හාමුදුරුවරු බණ අවසානයේ තමන්ගේ පොත්පත්ද අලෙවි කරති. අහවල් ආගමෙන් බලෙන් ධර්ම ප්‍රචාරයට පොත් පත් නිකම් බෙදන්නේයයි කුපිත වී බෙරිහන් දෙන ඇතැමුන්ට මේවා හොදය. අනෙකාට ඇගිල්ල දිගුකරනවා විනා බෞද්ධයාගේ බෞද්ධකම ගැන ඔවුන්ට වගක් නැත. අමූලිකා ශ්‍රද්ධාවෙන් මුසපත් වූවන්ට ඊළගට පොවන්නේ ජාතිකවාදය නම්වූ මාහැගි ඖෂධයයි. අන් ආගම් හෙළා දකින්නට හා ගරහන්නට විනා විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට ඔවුන්ට මග පෙනෙන්නේ නැත. බුදුන් වහන්සේ වෙත පැවිද්ද ලබාගන්නට පැමිණි ඇතැමුන්ට උන්වහන්සේ දේශනා කලේ තවත් වරක් සිතා බලන ලෙසයි, එමෙන්ම පැවිදි වුවත් තමන්ගේ පෙර ගුරුවරුන්ට ගරුකරන ලෙසයි. බුදුන් වහන්සේ නිගන්ඨනාතපුත්තයා නිරුවතින් යන්නේයැයි බෙරිහන් දුන්නේ නැත, අජිත කේසකම්බිලියා මිථයා දෘෂ්ටිකයෙකැයි බෙරිහන් දුන්නේ නැත. ආලවක දමනය කරන්නට ඔහුගේ ගුහාවට වැඩමවා අඩි හැප්පුවේද නැත. නමුත් වැරදි මගට ගිය බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන්ද නිසි මගට ගෙන සත්‍යය ඔවුන්ටම අවබෝධ කරවන්නට උපක්‍රමශීලීව කටයුතු කළහ.
ආකාරවතී ශ්‍රද්ධාව යනු කර්ම පල විපාක අවබෝධ කරගෙන කටයුතු කිරීමයි. රුපියල් ලක්ෂයක් වියදම් කර අමූලිකා ශ්‍රද්ධාවෙන් සිදුකරන්නා වූ කටයුත්තකට වඩා රුපියලක් වියදම් කර ආකාරවතී ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම ඵල ගෙන දෙයි. බුදුරජාණන් වහන්සේ ‘සෝතානුධත’ සූත‍්‍රයේ විස්තර කලේ ආකාරවතී ශ්‍රද්ධාවට පත් පුද්ගලයා ධර්මය කෙරෙහි බැදී නිවන් මගට පිවිසෙන ආකාරයයි. එබැවින් අප සිදුකරන සෑම කර්මයක්ම ආකාරවතී ශ්‍රද්ධාවෙන් සිදු කිරීමට උත්සහ ගත යුතුය. අඩු තරමේ එසේ කිරීමට උත්සහ ගැනීමට මම ඔබට ආරාධනා කරමි.
නම් ප්‍රසිද්ධ නොවූවත් ආර්ය මාර්ගය දේශනා කරන යතිවරු අප සමාජයේ තවත් සිටිති. නිහඩව සමාජයට සෙත සදනා යතිවරුද දැකීමට අපි තවමත් වාසනාවන්ත වෙමු. ආකාරවතී ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නෝද ඇතැම් විට මාර්ග ඵල ලාභියෝද අප අතරම සිටිති. නිසි ලෙස ඔවුන් හදුනාගැනීමට බෞද්ධ දර්ශනය අපට මග පෙන්වා ඇත. නමුත්
උප්පැන්නයේ සිංහල බෞද්ධයැයි සටහන් වූ පලියට ඔබ බෞද්ධයෙකු නොවන්නා සේම සිවුරක් පටලාගත් පමණින් කිසිවෙකු ගරු කටයුතු ස්වාමින් වහන්සේ කෙනෙක් නොවෙති. වෙසක් කලාප තුල මත්පැන් බොන්නෝ අද සිටිති. වෙසක් දිනට බොන්නට වේලාසන මත්පැන් ගබඩා කරගන්නෝද සිටිති. පිංකම්වලට මුවාවී මුදල් රැස්කරන්නෝද සිටිති. වෙසක් දිනයේ පවා කාමයෙහි වරදවා හැසිරෙන්නෝද සිටිති. අතීතයේ අප තුල වූ හික්මීම නැති වී ගොසිනි. සිවුරට මුවාවී වීරයන් වන්නන් සේම සිවුරට මුවාවී කාමසුඛල්ලිකානු යෝගයේ යෙදෙන්නෝද අද බහුල වෙති. කෝටි ගණන් වියදම්කර වාහන ගන්නා ශ්‍රමණ වේශධාරීහු පන්සලේ පුංචි වැඩකටත් දායකයන්ගෙන් මුදල් එකතු කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමි. අටසිල් සමාදන් වන විට අප නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩප විභූසනට්ඨානා වේරමණී යයි සමාදන් වෙමු. එසේවීනම් ස්වාමීන් වහන්සේලාට අති නවීන ටච් ෆෝන් කුමකටදැයි මම ප්‍රශ්න කරමි. සම්බුදු සසුනේ පැවිදි වූවෝ සියල්ලෝම ආර්ය සංඝ ලෙස හැදින්විය යුතුයයි බුදුන් වහන්සේ වදාළේ නම් නිකාය භේදයක් කුමකටදැයි මම ප්‍රශ්න කරමි. වැටත් නියරත් ගොයම් කානම් ඒ අමාරුව කාට කියන්නේදැයි මම ඔබෙන් අසමි. මග පෙන්වන්නෝ වැරදි මග යයිනම් අනුගාමිකයෝ හරිමග යන්නේ කෙසේදැයි මම ප්‍රශ්න කරමි. බුදු දහමේ හරය නොදැන අන්ධ භක්තියෙන් සරුව පිත්තල බුදුදහමක් නිර්මාණය කර ඒ පස්සේ යන්නන් සිටිද්දී බුදු දහම රකින්නේ කෙසේදැයි මම ඔබෙන් අසමි. ඉදින් සහෘද බෞද්ධයිනි ප්‍රීති වෙසක් තිබේදැයි මම මගෙන්ම ප්‍රශ්න කරමි.

-විදුරංග විලෝචන ගුණසේකර-

No comments:

Post a Comment